(අංජුල මහික වීරරත්න)

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි වත්මන් ප්‍රගතිය විමසා බැලීමේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ අනෙකුත් කරුණු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී  පැවැත්විණි.

අනාගත දරු පරපුර වෙනුවෙන් සිදු කරනු ලබන මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තුළ කිසිදු දේශපාලන අරමුණක් නොමැති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බව අවධාරණය කළේය.

පළමු ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය මෙහිදී විමසා බැලූ ජනාධිපති ලේකම්වරයා, ඒ සම්බන්ධව දෙමාපියන්ගේ හා  ගුරුවරුන්ගේ අදහස් පිළිබඳවද අවධානය යොමු කළේය. 

2026 වසරේ ඉදිරි කාලය සම්බන්ධ වැඩ සැලසුම් මෙන්ම, 2027 වසර සඳහා සූදානමද, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ‌යෙන් ජනාධිපතිවරයා  සමඟ  පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමේ  ප්‍රගතියද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කරන ලදී.

විෂයය මාලා සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, පරිපාලන ප්‍රතිසංස්කරණ හා යටිතල පහසුකම්, ඇගයීම් ක්‍රමවේදය සහ මහජනතාව දැනුවත් කිරීම යන අංශ වෙනුවෙන් අනුකමිටු පත් කිරීමේ වත්මන් තත්ත්වයද විමසා බැලිණි.

ජාතික, දිස්ත්‍රික්ක හා ප්‍රදේශීය මට්ටමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම වෙනුවෙන් පිහිටුවනු ලැබූ කමිටුවල වත්මන් ප්‍රගතිය මෙන්ම,නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

එසේම ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පෞද්ගලික, ජාත්‍යන්තර පාසල් නියාමනය වෙනුවෙන් ගෙන ඇති තත්ත්ව සහතික කිරීමේ රාමුව පිළිබඳවද මෙහිදී අවදානය යොමු කෙරිණි.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සරත් ආනන්ද, අධ්‍යාපන අධ්‍යක්ෂ  ඩබ්ලිව්. කේ. එස්. එස්. පෙරේරා, අතිරේක විභාග කොමසාරිස් ජනරාල් තිලක් වත්තුහේවා, ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ  ජනරාල් ආචාර්ය ඒ.ඩී.ඒ.ද සිල්වා යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.