(ඩයනා උදයංගනී)

අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු අසල පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ගාස්තු එකතු කිරීමේ  (Electronic Toll Collection) කුටි ඉදිකිරීමට පියවර ගන්නා බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  මහතා පැවසීය.

අධිවේගී මාර්ග වල පිටවීමේ දොරටු අසලදී ප්‍රවේශ පත්‍රය ලබා දී අතින් මුදල් ගෙවීමේ ක්‍රමයේදී එක් අයකුගෙන් මුදල් ලබාගෙන වාහනය පිටත්කර යැවීමට මුදල් ගෙවීමේ කුටියේ සිටින අයකැමිවරයාට තත්පර 12-15 ත් අතර කාලයක් ගතවන නමුත් පෙර ගෙවුම් කාඩ්පත් මගින් ඉලෙක්ට්‍රොනික ගෙවීමේ ක්‍රමය භාවිතා කිරීමේ දී තත්පර 6 ක් වැනි සුළු කාලයක් ඇතුලත ගෙවීම් කිරීමේ හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පමණක් ස්ථාපිත කර ඇති ඉලෙක්ට්‍රොනික ගාස්තු එකතු කිරීමේ කුටි කෙරවලපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සහ අනෙකුත් අධිවේගී මාර්ග වල ඇති අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වලද ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි අමාත්‍යවරයා කීවේය මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ අධිවේගී මාර්ග මෙහෙයුම් කළමනාකරණ ඒකකයේ ප්‍රගතිය සහ එහි ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමක් අමතමිනි.