(අංජුල මහික වීරරත්න)

මෙරට ජනතාවට අඛණ්ඩව හා කාර්යක්ෂමව අවශ්‍ය ඖෂධ සැපයීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

මෙම හවුල්කාරීත්වය යටතේ, මෙරට පවතින ජාතික ප්‍රසම්පාදන ක්‍රමවේද ඔස්සේ සපයා ගැනීමට අපහසු, අත්‍යවශ්‍ය ඖෂධ ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේද හරහා ලබාගැනීමට පහසුකම් සැලසෙනු ඇත. සීමිත වෙළෙඳපොළ ප්‍රවේශය, ගෝලීය සැපයුම්කරුවන්ගේ සීමිත බව සහ කුඩා ප්‍රමාණයේ ප්‍රසම්පාදන හේතුවෙන් ලබාගැනීමට අපහසු වන ඖෂධ සඳහා මෙම වැඩපිළිවෙළ විශේෂ වැදගත්කමක් ගනු ඇත.

එම හවුල්කාරීත්වයට අදාල අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතියෙන් පසුව අත්සන් තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත අසූසා කුබෝටා සහ මුදල්, ක්‍රමසමිපාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙම හවුල්කාරීත්වයට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදි.

මෙම වැඩපිළිවෙළ මගින් ඖෂධ ප්‍රසම්පාදන සහ සැපයුම් දාම පාලනය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතියේ ප්‍රතිරෝධීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් දායකත්වය සැලසෙනු ඇත.