( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනිබත් වීම නිසා සිදු වූ සමුද්‍ර දූෂණය හේතුවෙන් සිය ජීවිකාව අහිමි වූ ධීවර ප්‍රජාවට සිදු වූ හානියට වන්දි මුදල් ගෙවන ලෙස රජයට නියෝග කරන්නැයි ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම ඇතුළු පෙත්සම් පහක් ලබන දෙසැම්බර් මස 01 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) තීරණය කළේය.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා , මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා, වෘත්තීය ධීවරයින් දෙදෙනෙකු වන ඩබ්ලිව්. ගාමිණී ප්‍රනාන්දු , වර්ණකුලසූරිය ක්‍රිස්ටෝපර් සරත් ප්‍රනාන්දු සහ පරිසර විද්‍යාඥවරියක වන ආචාර්ය අජන්තා පෙරේරා සහ සිවිල් සමාජ ක්‍රියාකාරුවෙකු වන ජේ.ජෙගතීෂ්වරන් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.
එල්. ටී.බී.දෙහිදෙනිය, ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් අද කැඳවිණි.
එහිදී වගඋත්තරකාර පාර්ශවයේ කිහිප දෙනෙකුම අධිකරණයේ පෙනී නොසිටීම නිසා පෙත්සම් වෙනත් දිනයක කැඳවීමට විනිසුරු මඩුල්ල තීරණය කෙරිණි. එහිදී පෙත්සම් කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා මේ වන විට අවස්ථා තුනකදීම මෙම පෙත්සම් සලකා බැලීම කල් දමන ලද බව සදහන් කළේය.
මෙම නැව නිසා මෙරට මුහුදු තීරයට මෙන්ම පරිසරයට වන හානිය දිනෙන් දින වැඩි වන බව ඒ මහතා සඳහන් කළේය. එබැවින් හැකි ඉක්මනින් මෙම පෙත්සම් සලකා බලන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි සෙසු නීතීඥවරු ද ඒ සඳහා එකඟතාවයපළ කළහ.
කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම් සියල්ල දෙසැම්බර් මස පළ වැනිදා කැඳවීමට තීරණය කළේය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය , එහි සභාපති , නීතිපති ඇතුළ පිරිසක් නම් කරනු ලැබ සිටිති. අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් කලාවක් හොයා ගත්ත මන් දියුණු වෙන්න ඕනෑ නම්, නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පෙස්සං
ඒවා ඉතින් සලකා බලන අංශයට තමයි වැටෙන්නේ .පස්සේ විසි කරලා දානකල් .හොරෙක්ව බේරන්න ගහපු එකක් නෙමෙයි නේ