(අංජුල මහික වීරරත්න)

ගොවි ජනතාවට අඛණ්ඩ පොහොර සැපයුමක් තහවුරු කිරීම රජයේ අරමුණ බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

පවතින පොහොර සංචිත බෙදා හැරීමේ යාන්ත්‍රණය තවදුරටත් විධිමත් කිරීමට සහ පොහොර ආනයනය සඳහා පවතින බාධා සැලකිල්ලට ගනිමින් ඒ පිළිබද ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ඊට අදාළ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (02) පැවති සාකච්ඡාවේදීය.

මේ වන විට පවතින පොහොර සංචිත සහ බෙදා හැරීමේ යාන්ත්‍රණය පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා දිස්ත්‍රික් මට්ටමින් ගොවි ජනතාවට පොහොර බෙදා හැරීමේ කටයුතු නිසි කළමනාකරණයකින් යුතුව සිදු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

‍මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ඇතැම් ව්‍යාපාරිකයන් පොහොර සඟවා ගැනීම සහ වැඩි මිලට පොහොර අලෙවි කිරීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡා විය.