බෙංගාල බොක්කේ දකුණු සහ ඊට යාබද බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතතව පැවති “අක්වාන්” (Akvan) ප්‍රබල සුළි කුණාටුව, 2026 නොවැම්බර් 18 වන දින පස්වරු 11.30 පමණ වන විට, එය උතුරු අක්ෂාංශ 13.9° සහ නැගෙනහිර දේශාංශ 85.3° ආසන්නයේ (ත්‍රිකුණාමලයේ සිට දළ වශයෙන් කිලෝමීටර් 740ක් පමණ ඊසාන දෙසින්) කේන්ද්‍රගතව පැවතුණි.

මෙම පද්ධතිය තවදුරටත් උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින්, 2026 නොවැම්බර් 20 වන දින උදෑසන 11.30 පමණ වන විට, ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමනිසා, උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.

එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාවන් ආරක්‍ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ. මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

වැසි තත්ත්වය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

සුළඟ:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ හෝ උතුරු දිශාවලින් හමා එන අතර හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා ඉහළ යා හැක.

මුහුදේ ස්වභාවය:

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං  ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.