(සුජිත් හේවාජුලිගේ)

සයිනොපාම් සහ ඇස්ට්‍රාසෙනිකා එන්නත  ලබාගත් වයස 60 ට වැඩි පුද්ගලයන් සඳහා තෙවැනි එන්නතක් ලෙස (බූස්ටර්) ෆයිසර්  ලබාදීමට අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.

එමෙන්ම  පිළිකා සහ වකුගඩු ආබාධවලින් පෙළෙන වයස 30ත් 60ත් අතර පුද්ගලයන්ටද  සෞඛ්‍ය අංශ සේවකයන්ට හා ඉදිරි පෙළ අනිකුත් සේවකයන් සඳහාද තෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර්  ලබාදීමට තීරණය කර ඇත.

මේ අයට තෙවැනි මාතාව ලබාදීම නුදුරේදීම අරඹන බව හෙතෙම වැඩිදුරටත් කීවේය.

මේ රටේ යම් යම් කාණ්ඩවලට තෙවැනි මාත්‍රාවක් අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට පසුගියදා උපදෙස් දුන්නේය.

ෆයිසර් එන්නත් මාත්‍රා  විශාල ප්‍රමාණයක් මෙරටට දැනට ලැබී ඇති අතර තවත් තොග ඉදිරි දිනවල  ලැබීමට නියමිත බව  සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.