(සුජිත් හේවාජුලිගේ)

රේගුවේ ගුදම් හයක වාහන 94941 ක් එකලස් කර වෙළඳපොළට මුදා හැර තිබුණ ද එම වාහනවලට අදාල කෝටි 1788 ක පමණ වැට් බදු මුදලින් කෝටි 576කට ආසන්න මුදලක් ගිය වසරේ අවසානය වනවිටත් අය කරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

ගුදමක නිෂ්පාදනය කරන ලද හෝ එකලස් කරන ලද භාණ්ඩ ගුදමෙන් මුදා හරින අවස්ථාවේදී එම භාණ්ඩ ආනයනය කරන ලද ඒවා ලෙස සලකා තීරු බදු ගණනය කර ගෙවීම් කළ යුතු බව රේගු ආඥා පනතේ 84 අ (1) වගන්තියේ පැහැදිලිව දැක්වේ.

මේ අතර විවිධ හේතු මත අත්අඩංගුවට ගෙන රේගුවේ විවිධ අංගනවල රඳවා තිබූ නරක් වන සුළු භාණ්ඩ කන්ටේනර් 1051ක් විකුණා දැමීමට කටයුතු කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඊට වසර පහකට වඩා පැරණි බහාලුම් 393ක්ද ඇතුළත් විය.

රඳවා තබාගෙන ඇති බහාලුම් 1869 අංක 17දරණ රේගු ආඥා පනතේ 135 සහ 162 වගන්ති ප්‍රකාරව හැකි ඉක්මනින් සුදුසු පරිදි ක්‍රියා කළ යුතු බවත් නරක් වන සුළු බඩු වර්ග විකුණා දැමිය යුතු බවත් සඳහන්වේ.

මෙය අවිධිමත් ගනුදෙනුවක් බවද වාර්තාව පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා රේගුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.