(නිහාල් වෙත්තසිංහ)

අප්‍රේල් 11, 12, 13, 14, යන දිනවල උත්සවය සමය නිසා  කිසිදු බිඳ වැටීමකින් තොරව ජලය සපයන  බව, ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසූවේ (03) දින කලටුවාව සහ ලබුගම ජලාශවල නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීය.

ලබුගම සහ කලටුවාව ජලාශ ප්‍රදේශවලට ඉදිරි සති 2 - 3 ඇතුලත වර්ෂාව පතිත වුවහොත් දැනට සකස් කර ඇති සැලැස්ම වෙනස් කිරීමට හැකියාව තිබෙනවා. මේ වන විට ක්‍රියාත්මක ජලය සීමා කිරීමේ කාලය පැය 18 කට හෝ 12 කට සීමා කිරීමට බලාපොරොත්තු වෙනවා. එය අප්‍රේල් 10 දක්වා ක්‍රියාත්මක කරනවා. 

මේ වනවිට කලටුවාව ජලාශයේ ජල මට්ටම අඩි 9 දක්වාත්, ලබුගම ජලාශයේ ජල මට්ටම අඩි 23 පමණ දක්වාත් පහළ වැටී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයට ජලය සම්පාදනය කරන ප්‍රධාන ජල මූලාශ්‍ර දෙක වන්නේ ලබුගම සහ කලටුවාව යන ජලාශ දෙකයි. නමුත් අඹතලේ ජල මූලාශ්‍රයේ තවමත් විශේෂ ගැටළුවක් නැති වුවත්, කොළඹ දිස්ත්‍රික්කයට ලබාගන්නා ජල පරිමාව මේ වනවිට ඉතාමත් කුඩා මට්ටමින් මීටර් කියුබ් 15000 ක පමණ අඩු කිරීමක් සිදු කරනවා.

දැනට ලබාගන්නා ජල ප්‍රමාණයම මේ ක්‍රමයට ගියහොත් ජල මට්ටම ක්‍රියාත්මක වන්නේ තවත් දින 20 ක් වැනි කාලයකටයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකි සමඟ ඊළඟ සති 2 - 3 ඇතුලත විශාල වර්ෂාපතනයක් අපි බලාපොරොත්තු වන්නේ නැහැ. එම නිසා අපි ලබුගම සහ කලටුවාවෙන් ලබාගන්නා ජලය යම්කිසි සීමාවකට ලක් කරනවා.