(යොහාන් භාසුර)

දුම්රිය වාර ප්‍රවේශපත් හිමිකරුවන්ට පමණක් දුම්රිය භාවිතය සීමා කිරීම ප්‍රවාහන අමාත්‍යංශයේ හො දුම්රිය දෙපාර්තමේන්තුවේ ගත් තීරණයක් නොවන බවත් එය සෞඛ්‍ය බලධාරීන් පැනවූ කොන්දේසියක් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (24) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

අගෝස්තු මස වාර ප්‍රවේශපත්‍රය තිබිය යුතුයි යන කොන්දේසිය පිළිබඳව එතරම් අවදානය යොමු නොකරන බව කී ධම්මික ජයසුන්දර මහතා කල්ඉකුත් වූ වාරප්‍රවේශපත්‍රයක් තිබීම පිළිබඳව පමණක් අවදානය යොමු කරන බව ද සඟන් කළේය.

රජයේ සේවකයෙක් දුම්රියෙන් යන්න දුම්රිය ස්ථානයට පැමිණි පසු හරවා යැවිය නොහැකි බවත් පාසල් දරුවකු නිල ඇඳුමෙන් පැමිණි පසු වාර ප්‍රවේශපත නොමැති යැයි හරහා යැවීම මානුෂික නොවන බවත් ජයසුන්දර මහතා පැවසීය.

එම තීරණය වෙනස්කරගැනීමට අවස්ථා කීපයකදී උත්සහ කළ බවත් කී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ හෙට දුම්රිය ධාවනය අරම්භ කර ගැටලු පිළිබඳව අවදානය යොමු කරන බවත්ය.