(තරිදු ජයවර්ධන)
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනිවාර්ය විෂයක් ලෙස හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව කැබිනම් සම ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද පැවසීය.
ඇමැතිවරයා ඒ බව පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාෙවන් සියයට 75ක් පමණ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බවත්, මුළු ජනගහනයෙන් 72.5%ක් එළවළු හා පළතුරු අවශ්‍ය ප්‍රමාණයට ආහාරයට නොගන්නා බවත්, කාන්තාවන්ගෙන් 44%ක් පමණ ප්‍රමාණවත් පරිදි කායික ව්‍යායාමයන්හි නොයෙදන බවත් අමාත්‍යවරයා කීවේය. මෙම තත්ත්වය මඟහරවා ගැනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවන රාවක් ගත කිරීම සඳහා සෞඛ්‍ය පිළිබඳ මහනා දැනුමක් තිබීම අවශ්‍ය බව ද, වර්තමාන පාසල් විෂය නිර්දේශය තුළ හය වසරේ සිට නවය වසර දක්වා පමණක් සෞඛ්‍ය විෂ්‍ය අනිවාර්ය වුවද අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සෞඛ්‍ය අනිවාර්ය නොවන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අනිවාර්ය විෂයක් ලෙස 'සෞඛ්‍ය විෂය' හඳුන්වා දීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා මෙම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර තිබේ.
2023 වසරේදී සිදු කිරීමට නියමිත මීළඟ පාසල් විෂයමාලා සංශෝධනයේදී අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගය දක්වා 'සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය' යන විෂය අනිවාර්ය විෂයක් ලෙස පාසල් තුළ ඉගැන්විය යුතු බවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විද්වත් කමිටුව විසින් සිදු කරනු ලැබ ඇති යෝජනාවද සැලකිල්ලට ගනිමින්, පාසල් විෂයමාලා සංශෝධනය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ බලධාරිත්වය දරන ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්දේශ ලබාගැනීමෙන් අනතුරුව එම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

COMMENTS
ඇමති මණ්ඩලයටත් ස/පෙළ අනිවාර්ය කරන්න
ඉතිහාසේ නම් මේ ගොල්ලොන්ට අරහන්.
බලාගෙන ගියාම පසුගිය කලේ 1975 පෙර තිබුණ විභාග කොච්චර හොඳද? දැන් තමයි එක එක ඇමතිය එනකොට මුළු අධ්‍යාපනයම වෙනස් කරන්නේ .....................මුන් තමා අධ්‍යාපනය විනාශ කරන්නේ...............
මේක නං හොඳ වැඩක්. නමුත් සුදත් කිව්වා වගේ සියලුම නීති රීති, සුදුසුකම් සාමාන්‍ය ජනයාට තමයි. මුළු ජනගහනයෙන් 72.5%ක් එළවළු හා පළතුරු අවශ්‍ය ප්‍රමාණයට ආහාරයට නොහන්නවා නං, දැන් හරි කල්පනා කරන්න 72.5% ජනතාවගේ ආර්ථික තත්වය ගැන... නෝනලාගේ වැසිකිළි හදන්නත්, කාර් ගන්නත්, නිල නිවාස හදන්නත් ප්‍රමුඛත්වය දෙන රජය රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය තත්වය ගැන කිසිම කැක්කුමක් නැහැ...
අපි සා පෙලට ලියු 80 දශකයේ අග භාගයේ මේ විෂය අනිවාර්ය හැටියට තිබුණා. දැන් ඉතින් ඊට වැඩිය වැදගත් දේවල් දෙමව්පියනටත් තිබෙනවා. පහේ ශිෂ්‍යත්වය අල්ලපු ගෙදර ළමයට ඉහළින් පාස් කරවන්න , සාපෙළ උසස් පෙළ දිවයිනේ පළවෙනිය වී රුපවාහිනියේ මාධ්‍යයේ පෙනී සිටීම ආදී වශයෙන්. සෞඛ්‍ය හෝ ක්‍රීඩා ව්‍යායාම යකාට ගියත් කමක් නැහැ . ජීවන කුසලතා නැති, දරා ගැනීමේ හැකියාවක්නැති, මානසික අවපීඩනය ඉහලින්ම කර පින්නා ගත් උගතෙක් වුනොත් ඒ ඇති.
2023 දී මේවා කරන්න ඉන්නවා නම් ඉතින් හීනෙන් තමයි.. තව අවුරුදු දෙකකින් ගෙදර යන්න වෙනවා කියලා අමතක වුනාද ..?
හැබැයි ශරීර සුවය කියලා අනවශ්‍ය දේවල් උගන්වනවා නෙවෙයි... යූ.එන්.පී එකේ උඩ ඉන්න ඔක්කෝම ඕකට හරි මනාපයි නොවැ..
දැනටත් සාමාන්‍ය පෙළට ඉතිහාසයත් ඇතුළත්ව විෂයයන් 6ක් අනිවාර්යව තිබෙනවා. එය 7ක් වූ පසු, වාණිජ්‍යය, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි හෝ සිංහල සාහිත්‍යය යන ඉතාම වටිනාකමෙන් යුතු විෂය තුන ළමයින්ට තෝරා ගැනීම අපහසු වෙනවා. ඉන් එකක් අතහරින්න වෙනවා. විද්‍යාව විෂයෙහි, ජීව විද්‍යා පාඩම් වලින්, සෞඛ්‍ය සම්බන්ධ බොහෝ දෙය ඉගැන්වීම සිදු වෙනවා.
අපේ කට්ටිය හිතාමතාම වලපල්ලට යැව්ව ඉතිහාසය විෂයත් ඔය වගේම අනිවාර්ය කළොත් හොඳයි.