(තිළිණි ද සිල්වා)
කොරෝනා වෛරසය ආසාදනය වූ මුල්ම ශ්‍රී ලාංකික කාන්තාව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන වන්නේ යැයි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහන් කරයි.
ඇය මේවන විට ඉතාලියේ බ්‍රේෂා නගරයේ රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන අතර ඇයගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන්ම එරට බලධාරීන් සොයා බලන්නේ යැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලේකම් සිසිර සෙනවිරත්න මහතා කියා සිටී.
කොරෝනා ආසාදනය වූ කාන්තාවට සෞඛ්‍ය පහසුකම් ලබා දීම එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත සිදු කෙරමින් පවතින බවත් , ඇයගේ තත්ත්වය බරපතල නොවන බවත් ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය දැනුම් දුන් බවද හෙතෙම කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිසිර සෙනවිරත්න මහතා මෙසේද කීය.
‘‘ඇයගේ තත්ත්වය 04 වැනිදා වනවිට පැවති තත්ත්වයටත් වඩා සුව අතට පැවතියා.ඇයට අවශ්‍ය සියලු සෞඛ්‍ය පහසුකම් අදාළ රෝහල සම්පාදනය කර තිබෙනවා.අපිට 02 වැනිදා තමයි ඇය ගැන දැනගන්නට ලැබුණේ.ඒ තොරතුරු දැනගන්නට ලැබීමත් සමඟම අදාළ රෝහල සමඟ ඇය පිළිබඳ තානාපති කාර්යාලය සාකච්ඡා කළා.
ඇයට වෙනම කාමරයක් ලබා දීමට මේ වන විට කටයුතු කරලා.රෝහල් බලධාරීන් ප‍්‍රකාශ කරන ආකාරයට ඇයගේ තත්ත්වය ස්ථාවරයි.ඇය ආහාර ලබා දුන්නේ නැහැ කියලා ඇතැම් වාර්තා පළ වෙලා තිබුණා.අපි ඒ ගැන විමසීම් කළා.රෝහලින් අපිට පැවසූයේ ඇයට සිදු කළ පරීක්ෂණ කිහිපයක් නිසා ආහාර ලබා දීමක් සිදු නොකළ බවයි.
පරීක්ෂණ වලින් අනතුරුව ඇයට ආහාර ලබා දීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබෙනවා.ඒ වගේම ඇයට අවශ්‍ය අනෙක් පහසුකම් සියල්ලක්ම අඩුවක් නැතිවම ඉතාලි සෞඛ්‍ය අංශ විසින් ලබා දෙනවා ’’ යැයිද පැවසීය.
මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ උතුරු ඉතාලියෙ බ්‍රේෂා ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක් යැයි ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලය සඳහන් කරයි. ඇය 46 හැවිරිදි වියේ පසුවන්නියක වන ඇය හොරණ ප‍්‍රදේශයේ පදිංචිකාරියක වේ.
එම කාන්තාව වසර 10 ක පමණ කාලයක සිට සිය සැමියාත් සමඟ එරට පදිංචිව සිටින අතර ඉතාලියේ බ්‍රේෂා ප්‍රදේශයේ කොරෝනා ආසාදිත වයෝවෘද්ධ ඉතාලි ජාතික කාන්තාවක රැක බලාගැනීමට ගිය අවස්ථාවේදී මෙලෙස රෝගය ආසාදනය වී ඇතැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන් පිටත වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියට වන අතර එරට එම වෛරස් ආසාදිතයින් ගණන 3000 ක් ඉක්මා ඇත.පුද්ගලයින් 107 එම වෛරසය ආසාදන වීමෙන් මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.
COMMENTS
ලෝකේ කොහෙවත් රටක කොරෝනා රෝගියෙක්ව මාධ්‍ය මගින් පෙන්වා නැති නමුත්, එක්තරා නාලිකාවක් මගින් ලංකාවේ රෝගී කතව පෙන්වූවා. ඉතාලියේ බොහෝ ශ්‍රී ලාංකිකයෝ මේ ලෙඩේට බයේ ලංකාවට දුවනවා. ඉතාලියේ සාමාන්‍ය රෝහලක් ලංකාවේ හොඳම පුද්ගලික රෝහලකටත් වඩා දියුණුයි සහ පහසුකම් සහිතයි. ලෝකයේ හොඳම දොස්තරවරු සහ කරුණාවන්ත හෙදියන් ඉන්න රටක් තමයි ඉතාලිය. බෙහෙතුත් හම්බවෙන්නේ නොමිලේ නම් මොන දෙයකටද බයේ ලංකාවට දුවන්නේ? මේකට එකම හේතුව නම් මේ අයගේ මොළයේ වෑල් වැඩකරන්නේ නැති එකයි. ඒ නිසා මොළයටත් ග්‍රීස් ටිකක් ගහගෙන රජයෙන් කියන ආකාරයට ආරක්ෂාකාරීව සිටින්න... ලංකාවට ගොස් අනුනුත් අමාරුවේ දමා තමනුත් අමාරුවේ වැටෙන්නේ නැතුව....
මම මුලින්ම එම සොහොයුරියට නීරෝගි සුවය ප්‍රාර්ථනා කරමි. දවස් දෙකකට ප්‍රථම සැලවූ එම පුවත ගැන කණගාටු වුණා. ඉතාලියේ සිටින දොස්තරවරුන්, හෙදියන් යනු මෙහි සිටින දෙවිවරුන්. කිසිම දවසක අපිට වෙනස් විදිහට සලකන්නේ නැහැ. එකසේ හැම කෙනෙකුටම සලකනවා. මෙහි සිටින සමහර ලාංකිකයන් මෙහි රැකියාව කරකර මේ රටටම අපහාස කරනවා.
"කොරෝනා ආසාදනය වූ කාන්තාවට සෞඛ්‍ය පහසුකම් ලබාදීම එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත සිදුකෙරමින් පවතින බවත්, ඇයගේ තත්ත්වය බරපතල නොවන බවත් ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය දැනුම් දුන් බවද හෙතෙම කීය." මම දැන්නේ දන්නේ මේ ලෙඩාට බෙහෙත් දෙන්නේ අපේ මිලානෝ ලංකා කොන්සියුලර් කාර්යාලයේ කියලා. මේ රටේ වැඩ කරන සහ පදිංචි සියලු දෙනාටම රජයේ සෞඛ්‍ය ආවරණයක් තිබෙනවා. අසනීපයක් වුණාම රෝහලකට ගියාම සියල්ල ඔවුන් භාරයෙන් සිද්ධ වෙනවා. කොන්සියුලර් කාර්යාලයේ කොරෝනා ලෙඩේට බෙහෙත් කරනවාට වඩා මෙහෙ ඉන්න මිනිස්සුන්ගේ ලියකියවිලි වැඩ ටික පුලුවන්නම් කලට වෙලාවට කරලා දෙන්න. හැමෝම කොන්සියුලර් කාර්යාලයට බනින්නේ ඒ නිසානේ. තානාපති කාර්යාලේ ඊට හපන් බවත් ඔක්කොම දන්නවනේ... අත යටින් මුදල් එහෙම ගන්නවා නම් එහෙම කරන්න එපා හොඳේ...! ගන්න නිසා නෙවෙයි කීවේ... මිනිස්සු කියන නිසා.... මේ බොරු පුවත් දාන්නේ ජනාධිපතිතුමා රවට්ටන්නද?
ඔබලාගේ අදහසට මමත් එකගයි. මේ රෝගී කාන්තාව අපේ සමහර ප්‍රචාරණ ආයතන ප්‍රදර්ශනය කරනවා. මේ නිසා ලංකාවේ සිටින අපේ පවුල්වල සාමාජිකයන් බොහෝ කලබල වෙනවා. ඒ නිසා මෙහෙ රෝහල් සහ ඒ කාර්යමණ්ඩලය හැමොටම එක ලෙස ඇප උපස්ථාන කරන්නේ .ඉතින් හැමදේම හොදවිදියට විසදේවි. මේ ප්‍රචාරණ නතර කරන්න නැත්නම් ලංකාවේ සිටින ආපු හැමෝගෙම පවුල්වල සාමාජිකයන්ට මේවා කල්පනා කරලම වෙනත් ලෙඩක් හැදේවි.
හා.... දැන් ලංකාවේ කොරෝනා ලෙඩ්ඩුන්ට විතරක්ද නැත්නම් මුළු ඉතාලියේම කොරෝනා ලෙඩ්ඩුන්ට ද ලංකාවේ රෝම එම්බසිය බෙහෙත් දෙන්න මැදිහත් වන්නේ? එතකොට ඉතාලි දොස්තරලාත් කොරෝනා වලට බෙහෙත් දෙන්න ඔයගොල්ලෝ හරහාද එන්න ඕනේ? අනේ ...මේ... කලට වෙලාවට ලියකිවිල්ලක් හදාගන්න දවස් ගානක් චාටර් වෙන්න ඕනේ මේ අපේ එම්බසියද මෙහෙම කියන්නේ ඒ අය කොරෝනා ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න මැදිහත් වෙනවා කියලා?
අපේ එම්බසියෙන් කලට වෙලාවට වැඩක් කර ගන්න නම් දෙන්නෙක් තුන් දෙනෙක්ට වඳින්නම වෙනවා.
කිසිවෙකුටත් දොස් නොකියන්න අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු...