(තුසිත කුමාර ද සිල්වා)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකදුරේ මධූෂ් නැමැත්තාගේ සමීපතම ගෝලයකු වූ පාදාගොඩ ‘ආමි ශිවා‘ නමින් හඳුන්වන විශ්‍රාමික හමුදා සැරයන් මේජර්වරයෙකු නීති විරෝධි ගිනි අවි , අත් බෝම්බ ඇතුලු උපකරණ සමඟ අද (17) අලුත්ගම පාදාගොඩදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 

මීට සති කිහිපයකට පෙර අත්අඩංගුවට පත් මාකදුරේ මධූෂ් නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ ගෝලයකු වූ ‘පාදාගොඩ බුෂියා‘ නැමැති සැකකරුගෙන් සිදුකළ දීර්ඝ  ප්‍රශ්න කිරීම් වලදී ලබාගත් තොරතුරු අනුව මෙම සැකකාර ‘ආමි ශිවා‘ අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය. 

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ජීව අත්බෝම්බ එකක් , බෝර 12 ෂොට්ගන් ගිනි අවියක් , සයනයිඩ් කරලක්, යුද හමුදාවට අයත් ආරක්ෂක ඇඳුමක් , ටී 56 උණ්ඩ 5ක් , මිලි මීටර් 9 උණ්ඩ හතක් , බෝර 12 ෂොට්ගන් උණ්ඩ පහක් , යුද හමුදා කැලෑ නිල ඇඳුම් කට්ටලයක් , සාමාන්‍ය නිල ඇදුම් කට්ටලයක් , සිතියමක් සහ 231 ක් වන බලසේනාවට අයත් ෆයිල් 03 ක් පොලිස් භාරයට ගත්බව පොලිසිය සඳහන් කළේය.

සැකකාර හමුදා සැරයන් මේජර්වරයා 18 වැනිදින අධිකරණයට ඉදිරිපත් කර දින හතක් රඳවා ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේය.