(යොහාන් භාසුර)

රට තුළ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙටි්‍රක්ටොන් ලක්‍ෂයක් ආනයන කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත් සහල් ආනයනය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (20) පස්වරුවේ පැවසීය.

ඒ අනුව කීරි සම්බා සහ සම්බා සහල්වලට ආදේශක සහල් ආනයනය කිරීමටත් දෙසැම්බර් මාසයේ උත්සව සමයේ තව දුරටත් සහල් අවශ්‍යතාව ඇති වුවහොත් ආනයනය කරන සහල් ප්‍රමාණය වැඩි කරන බව කී අමාත්‍යවරයා රුපියල් 260 ක පාලන මිලක පවතින කීරි සම්බා සහල් කිලෝවක් මේ වන විට රුපියල් 300 ත් 310 ත් අතර මිලක අළෙවි වන බව ද සඳහන් කළේය.  

මෙරට ප්‍රධාන සහල් ව්‍යාපාර ආයතන තුනක් මෙසේ විශාල වශයෙන් සහල් මිල ඉහළ දැමීමට මූලික කටයුතු කරන බවත් එම තත්වය පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පරීක්‍ෂණයක් පවත්වමින් සිටින අතර එහි ප්‍රතිඵල ඉදිරි දින කීපයේදී නිකුත් කරන බවත් අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් කීය.