
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සමාගමේ සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කරනු ලැබ ඇත.
එම විශේෂ විමර්ශන කමිටුව ජනාධිපති කාර්යාලයේදී හමු වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සාකච්ඡාවකටද එක් විය.
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සමාගමේ සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ සිදු වී ඇති අක්‍රමිකතා පිළිබඳ නිසි විමර්ශනයක් සිදු නොවීම හේතුවෙන් එම ආයතන විශාල ලෙස අකර්මණ්‍ය වී ඇති බව එහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මෙම සිදුවීම් පිළිබඳව ඉදිරිපත්ව ඇති සියලු කරුණු අධ්‍යයනය කරමින් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස උපදෙස් දුන්නේය.
එම තත්ත්ව නිවැරදි කිරීමට සහ අනාගතයේදී එවැනි දෑ නැවත සිදු වීම වැළැක්වීමට අවශ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා කමිටුවට දැනුම් දුන්නේය.
මෙම විශේෂ විමර්ශන කමිටුවට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් එම කමිටුවේ කැඳවුම්කරු සහ සාමාජිකයන් වෙත ජනාධිපති කාර්යාලයේදී පිරිනැමිණ.
ඒ අනුව, මෙම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවේ ලේකම් / කැඳවුම්කරු වශයෙන් ජනාධිපති අතිරේක ලේකම් කේ.එන්.එම්. කුමාරසිංහ ,සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ, විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ඥානසිරි සේනානායක, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති දුෂාන්ත බස්නායක, නීතිඥ දොන් චමින්ද ජේ. අතුකෝරල, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එන්.ඒ.එච්. කේ. විජේරත්න යන මහත්ම මහත්මීහුද කටයුතු කරති.
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සමාගම සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම සම්බන්ධයෙන් 2010-2025 කාලය තුළ සිදු කරන ලදැ’යි කියන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය බලය අනිසි ලෙස භාවිත කිරීම සහ වරප්‍රසාද අනීතික ලෙස ලබා ගැනීම,සේවා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමේදී සහ බඳවා ගැනීම්වලදී සිදු වී ඇති අක්‍රමිකතා,ගුවන් සේවා ආරක්ෂක කටයුතුවල දුර්වලතා,තීරුබදු රහිත සාප්පු ගනුදෙනු සහ විදේශ රටවල අලෙවි නියෝජිතයන්ගේ ගනුදෙනු සහ සිද්ධීන් සම්බන්ධයෙන් සිදු වී ඇති අක්‍රමිකතා,ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සුමට ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන ලද පරිපාලනමය වැරදි, දූෂණ සහ අක්‍රමිකතා සහ/ හෝ බාහිර මැදිහත් වීම් , ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් වර්ෂ 2000 සිට 2025 දක්වා කාලය තුළ ගුවන් යානා සහ රුපියල් මිලියන දහයට වඩා වටිනා භාණ්ඩ සහ සේවා ප්‍රසම්පාදනය කිරීමේදී සහ/හෝ බදු දීමේදී/ගැනීමේදී සිදු වී ඇති දූෂණ සහ අක්‍රමිකතා යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්, ජේ.සී වැලිඅමුණ කමිටු වාර්තාව සහ විගණකාධිපතිවරයාගේ විශේෂ විමර්ශන වාර්තාව මගින් අනාවරණය වූ වැරදි තීරණ ගැනීම්වලට සහ වංචා, දූෂණ සහ අක්‍රමිකතාවලට වගකිව යුතු පාර්ශ්වයන් හඳුනා ගැනීම, ඒවා නිවැරදි කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සහ අනාගතයේ එවන් තත්ත්ව යළි ඇති වීම වැළැක්විමට අවශ්‍ය මාර්ගෝපදේශනය සැපයීම මෙම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවේ කාර්යභාරය වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැදිකාරයෝ කරන්න ඕන කට්ටියගේ නම් ලිස්ට් එක දෙන්න ඇති. දැන් තියෙන්නේ සාක්කිකාරයෝ ටිකක් සල්ලිවලට ගන්න එකයි.
ශ්‍රී ලන්කන් එකේ විනාසෙට සම්පුර්ණ වැරැදිකාරයෝ පාලකයෝ පමණක්ම නොවේ.. වෘත්තීය සමිති නායකයෝ සහ සමහර සේවක සේවිකාවොත් ඕකට වග කියන්න ඕනේ... එක උදාහරණයක් දෙන්නම්, ලන්ඩන්, ෆ්රන්ක්ෆෙර්ට් වැනි දුර ගමනාන්තයක් ගිහින් එහේ නැවතුණාම හෝටල් ගාස්තු කොහොමත් ගුවන් සේවය විසින් ගෙවනවා. මීට අමතරව පොකට් මනී දෙනවා. එමිරේට්ස් එකෙන් දිනකට පොකට් මනි 50$ දෙනකොට ශ්‍රී ලන්කන් එකේ ගුවන්සේවිකාවන්ට 250$ දෙන්න කියලා වුර්තිය සමිතිය නිශාන්ත වික්‍රමසිංහ සමග එකඟත්වයකට ආවා... ශ්‍රී ලන්කන් බොහෝවිට දින 7ම ගමන් කරන්නේ නැති නිසා සමහර ගමනක් සතියක ගමන් වාර 5 පමණක් යනවා. එහෙම වුණාම කාර්ය මණ්ඩලය එහේ දින 2 ඉන්නවා. එතකොට 500$ නිකම්ම ලැබෙනවා. මෙම ගමනාන්ත ලබා ගන්න ගුවන් සේවිකාවන් විසින් ලිංගික අල්ලස් සහ වෙනත් අල්ලස් අදාල පුද්ගලයින්ට ලබා දුන්නා. මේ එක දූෂිත ගනුදෙනුවක් පමණි.
ජනාධිපතිතුමා, අර ඕකේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙක් එයාර් බස් ගනුදෙනුවක් කරලා ඩොලර් මිලියන 2 ක පගාවක් අරන් අහුවෙලා ලන්ඩන් අධිකරණයකින් වැරැදි කරුවෙක් වුණා නේද? එම නඩු තීන්දුව පාදක කරගෙන ලංකාවේත් ඔහුට විරුද්ධව නඩුවක් දැම්මා නේද? එම නඩුවට මොකද වුනේ? පොඩ්ඩක් ඒ ගැනත් හොයලා බලන්න...
යෝගා වැඩ කරන්නේ ලංකාදීප පුවත්පතේ වගෙයි මට නම් හිතෙන්නේ, නැත්නම් කොහොමද හැමෝටම කලියෙන් අදහස් ප්‍රකාශ කරන්නේ...? මේ ගැන සොයන්න. තව ඉන්නවා කීපදෙනෙක්...