අංජුල මහික වීරරත්න)

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර අංඩගු පැකැට්ටුවක් කිසිදු අයුරකින් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකින් බැහැරට නිකුත් කිරීමක් සිදු කර නොමැති හෙයින් ව්‍යාජ තොරතුරු වලින් කලබලයට පත් නොවී අද(14) දිනයේ නියමිත කාලසටහනට අනුව විභාගයට මුහුණ දෙන ලෙස සියලුම විභාග අපේක්ෂකයින්ට කාරුණිකව දැනුම් දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවාය.

විභාග ප්‍රශ්න පත්‍රයක් කිසිදු ආකාරයෙන් පිට වී නොමැති බව අවධාරණය කරන බවද විභාග කොමසාරිස්වරිය පැවසුවාය.

විභාග කොමසාරිස්වරිය මේ බව පැවසූයේ අම්බලන්ගොඩ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක ප්‍රශ්න පත්‍ර බහාලුමක තිබී අද දින පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් හයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

නියමිත කාලසටහන අනුව සියලුම විභාග මධ්‍යස්ථාන වල විභාග පැවැත්වෙන බැවින් සියලුම අපේක්ෂකයින් තමන්ට නියමිත කාලසටහන අනුව එම විභාග මධ්‍යස්ථාන වලට පැමිණ විභාගයට මුහුණ දෙන ලෙසද විභාග කොමසාරිස්වරිය ඉල්ලා සිටියාය.