(යොහාන් භාසුර)

වසරකට වැඩි කාලයක් අත්හිටුවා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය හෙට (8) පෙරවරුවේ ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පාරිශ්‍රයේදී හෙට පෙරවරු 10.00 ට වාහන අංක තහඩු මුද්‍රණය නිලවශයෙන් නැවත ආරම්භ කරන බවත් එම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහභාගිවීමට නියමිත බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු කීය.

මෝටර් වාහන අංක තහඩු මුදුණය කිරීමේ ටෙන්ඩරයේ ගැටලුවක් හේතුවෙන් පසුගිය 2025 වසරේ මැයි මස 16 වැනිදා අංක තහඩු මුද්‍රණය කිරීම නතර කළේය.

මෝටර් වාහන අංක තහඩු මුදුණය නැවත ආරම්භ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, සවුත් ඒෂියන් ටෙක්නොලොජි සමාගම සමඟ පසුගිය මාර්තු මස 10 වැනිදා ගිවිසුම්ගත විය.

මෝටර් වාහන අංක තහඩු මුදුණය කිරීම අත්හිටුවා වසරක කාලයක් ගතවී ඇති වර්තමානය වන විට මුද්‍රණය කර නිකුත් කිරීමට වාහන අංක තහඩු ලක්‍ෂ 4 කට අධික සංඛ්‍යාවක් එකතු වී ඇති බවත් මෙම අංක තහඩුවට යතුරුපැදි, ත්‍රිරෝද රථ, කාර්, වෑන් සහ බස් ඇතුළු වාහන රැසක් ඇතුළත් අතර යතුරුපැදි අංක තහඩු පමණක් ලක්‍ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට ඇති බවත් එම නිලධාරියා කීය.