( තිළිණි ද සිල්වා)

පාකිස්තානයේ සියල්කොට් නගරයේ දී ශ්‍රී ලාංකික කර්මාන්ත ශාලා කළමනාතරු අමානුෂික ලෙස පහර දී පුළුස්සා දැමීම හේතු වී ඇත්තේ කර්මාන්ත ශාලාවේ ප්‍රදර්ශනය කර තිබු ආගම් සම්බන්ධයෙන් වන සටහනක් ඉවත් කිරීමට මෙම ශ්‍රී ලාංකිකයා කටයුතු කිරීම යැයි පකිස්ථාන ආංරංචි මාර්ග වලන් සදහන් වේ.

ඒ සම්බන්ධයෙන් පකිස්ථාන මාධ්‍ය වාර්තාද සදහන් කර තිබිණි.

කෙසේ වෙතත් මෙම අමානුෂික ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද (04)  වන විට  සැකකරුවන් 100කට වැඩි පිරිසක්  දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 

පාකිස්තානයේ සියල්කෝට් ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනය කළ ලාංකිකයා  2010 වසරේ සිට අදාළ කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටි අයෙකු බව වාර්තා වේ.

පාකිස්තානයේ සියල්කෝට් හිදී එරට කර්මාන්ත ශාලාවක කළමණාකරුවෙකු වශයෙන් කටයුතු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු වූ ප52 හැවිරිදි ප්‍රියන්ත කුමාර මහතා  එම කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් විසින් පහර දී ඝාතනය කරනු ලැබුවේ ඊයේ (03) දිනයේදීය.

අනතුරුව මාර්ගයට රැගෙනවිත් ඇති මළ සිරුරට ඔවුන් විසින් ගිනිතබා ඇති අතර එම අවස්ථා විශාල පිරිසක් අවට එක්රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ දීම මෙරට විදේශ අමාත්‍යාංශය ඉස්ලාමාබාද් නුවර පිහිටි තානාපති කාර්යාලයෙන් වාර්තාවක් කැඳවා තිබුණි.

මීට අමතරව සිද්ධිය පිළිබඳ විමර්ශනය කර යුක්තිය සහතික කිරීමට පාකිස්තානය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බවට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.