
(අංජුල මහික වීරරත්න)
ජුලි 15වන දා සිට මිලදී ගැනීම් ආරම්භ කෙරෙන අතර 2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම් බව යල කන්නයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය විය.
යල කන්නයේ ගොයම් කැපීම මේ වන විට ආරම්භ වී ඇති බැවින් වී මිලදී ගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසද, ඒ සඳහා දැනට වී තොග පවතින ගබඩාවල වී තොග හිස් කර, නව වී මිලට ගැනීමට සූදානම් කිරීමේ කටයුතු සතොස සමග එක්ව සිදු කරන ලෙසද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට මෙහිදි උපදෙස් දුන්නේය.
මෙවර යල කන්නයේදී හෙක්ටයාර් 475,000ක් පමණ කුඹුරු ඉඩම් වගා කර ඇති අතර කිසිදු කාලගුණික විපර්යාසයක් මෙවර වී වගාවට හානිකර ලෙස බලපා නැති බවද ඒ නිසා සාර්ථක වී අස්වැන්නක් ලැබී ඇති බව ද මෙහිදි සඳහන් කෙරිණි.
2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා බිලියන 6ක් භාණ්ඩාගාරයෙන් ලබා දී ඇති බවත් ඊට අමතරව ඔඩපන ණය ලෙස කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත තවත් බිලියන 10ක් රජයේ බැංකු මගින් වෙන් කර ඇතැයි මෙහිදි අනාවරණය විය.
වී අලෙවි මණ්ඩලය ලබන 15වන දා සිට වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහාය ඇතිව අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා කීය.
තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ 2024 වසරේදී වී මෝල් හිමියන් කැඳවා වී මිල වැඩි නොකරන ලෙස පැවසීමට සිදු වුවත්, මේ වන විට වී මෝල් හිමියන් කැඳවා ප්‍රකාශ කරන්නට සිදුව තිබෙන්නේ වී මිල අඩු නොකරන ලෙස යැයි ද, එසේ කරන්නට සිදුව තිබෙන්නේ වසර එකහමාරක කාලය තුළ ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වීම නිසා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd