(අංජුල මහික වීරරත්න)

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පැවැත්විණි.

දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ක්ෂේත්‍ර සෞඛ්‍ය ඒකකය ලෙස 1926 වසරේදී ආරම්භ වූ කළුතර ජාතික සෞඛ්‍ය ඒකකය පිහිටුවීම සමඟ මෙරට මහජන සෞඛ්‍ය සේවාව ආරම්භ විය. අද වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 362කට වඩා විශාල ජාලයක් බවට පත්ව ඇති මහජන සෞඛ්‍ය සේවාවේ මූලික ශක්තිය වන්නේ මහජන සෞඛ්‍ය කණ්ඩායමයි. එම කණ්ඩායම තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH), පවුල් සෞඛ්‍ය නිලධාරී (PHM) සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ආදී ක්ෂේත්‍ර නිලධාරීන් කැපී පෙනෙන සේවාවක් ඉටුකරන අතර, ඔවුන් ප්‍රජාව සමග සෘජු සම්බන්ධතා ගොඩනගා ගනිමින්, ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් සෞඛ්‍ය සේවාවේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් දායකත්වය සපයයි.

ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමය විසින් සංවිධානය කළ මෙම සැමරුම් උත්සවයේදි සියවසක් පුරා මෙරට ප්‍රාථමික සේඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ප්‍රජා සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් ඇගයීමට ලක් කිරීමද සිදු කෙරිණි.

එමෙන්ම ශත සංවත්සර සමරු ග්‍රන්ථය, ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය සේවාවේ අනාගත දිශාව ඇතුළත් ධවල පත්‍රිකාව ඇතුළු ප්‍රකාශන කිහිපයක් එළිදැක්වීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ මහජන සෞඛ්‍ය සේවාව අභිමානවත් ඉතිහාසයක්, විශ්වාසවන්ත වර්තමානයක් සහ සුපැහැදිලි අනාගතයක් සහිත ක්ෂේත්‍රයක් බවයි.