(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දීය අක්ෂි වෛද්‍ය සංගමය රෝගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් පසු සන් ෆාමා සමාගම සිය අක්ෂි ඖෂධ නිෂ්පාදන 11ක් පසුගිය ජූලි මාසයේදී ආරක්‍ෂිත පියවරක් ලෙස එරට වෙළෙඳපොළෙන් ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇතැයි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පසුගියදා වාර්තා කළේය.

සන් ෆාමා සමාගම ලංකාවට බෙහෙත් සපයන සමාගම් අතුරින් ප්‍රධාන එකක් ලෙසද සැලකේ.

ඉන්දියාවේ අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් 27,000කට ආසන්න පිරිසකගෙන් සමන්විත සමස්ත ඉන්දීය අක්ෂි වෛද්‍ය සංගමය සිය සාමාජික වෛද්‍යවරුන් වෙත පසුගිය ජූනි 19 වැනිදා දැනුම් දී ඇත්තේ සන් ෆාමා සමාගම නිෂ්පාදනය කරන ‘ප්‍රෙඩ්මෙට්’ ඖෂධ වර්ගයට අයත් වෛද්‍ය නිර්දේශ මත ලබාදෙන අක්ෂි බිංදු ඖෂධයේ ඇතැම් කාණ්ඩවල බැක්ටීරියා ආසාදනයක් තිබෙන බව අක්ෂි ප්‍රතිකාර සිදුකරන ආයතන හඳුනාගෙන තිබෙන බවයි.

ඒ සමග අනතුරුදායක තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා සන් ෆාමා සමාගම එම ඖෂධය වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබූ බවත්, එය අසාත්මිකතා හේතුවෙන් ඇතිවන ඇස් රතු වීම, කැසීමේ සිට බරපතළ අක්ෂි ආසාදන දක්වා වූ තත්වයන් සඳහා භාවිත කරන ඖෂධයක් බවත් එම පුවත්පත සඳහන් කළේය.

"ප්‍රෙඩ්මෙට්" ඖෂධයේ ඇතැම් කාණ්ඩ වෙළෙඳපොළෙන් ඉවත්කර ගැනීමෙන් අනතුරුව පසුගිය ජූලි 17 වැනිදා එම සමාගම තවත් අක්ෂි ඖෂධ 11ක්ද පූර්ව ආරක්ෂක පියවරක් ලෙස වෙළෙඳපොළෙන් ඉවත් කර ගැනීමට නියෝග කර තිබිණි. ඩිපොප්‍රෙඩ් මිලිලීටර් 2, බ්‍රිනෝලර් (බීකේසී රහිත), බ්‍රින්සොටිම් අක්ෂි බිංදු මිලිලීටර් 5 (බීකේසී රහිත), ලෝටෙප්‍රෙඩ් මිලිලීටර් 5, ලෝටෙප්‍රෙඩ් සියයට 1 අක්ෂි බිංදු මිලිලීටර් 5, ලෝටෙප්‍රෙඩ් එල්එස් සියයට 0.2 අක්ෂි බිංදු මිලිලීටර් 5, ලෝටෙප්‍රෙඩ් ටී, නෙපලැක්ට් ඕඩී අක්ෂි බිංදු මිලිලීටර් 3, නෙපලැක්ට්-සී, නෙපලැක්ට් අක්ෂි බිංදු මිලිලීටර් 5 සහ ටෝබා-එෆ් යන අක්ෂි ඖෂධ ඊට අයත් විය.

සන් ෆාමා සමාගම ඉන්දියානු වෙළෙඳපොළෙන් ආපසු කැඳවූ ඖෂධ වර්ග 11න් එක් ඖෂධයක් හෝ මෙරටට ආනයනය කර තිබේදැයි දැන ගැනීම සඳහා එම සමාගමේ ඖෂධ මෙරටට ආනයනය කරන එක් සමාගමකට අප පුවත්පත දුරකතන ඇමතුමක් ලබාදුන් අතර එම ඇමතුමට පිළිතුරු දුන් තෙවැනි නිලධාරිනිය ප්‍රකාශ කර සිටියේ "ඔයාට මේ දුරකතන අංකය දුන්නේ කවුද, ඔයා කවුද, අපි එහෙම දෙයක් දන්නේ නෑ" ලෙසය.

සන් ෆමා සමාගමේ ගෝලීය සන්නිවේදන ප්‍රධානී ගෞරව් චග් මහතා අප පුවත්පත කළ විමසීමකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේ ඉන්දීය වෙළඳපොලෙන් ඉවත් කළ ඖෂධ වර්ග කිසිවක් ශ්‍රී ලංකාවට ආනයනය කර නොමැති බවයි.