
(අංජුල මහික වීරරත්න)
පැවැති දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව ස්ථාවරව ඉදිරියට යමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිදහස් දින පණිවිඩයෙන් පවසයි.
ජනාධිපතිවරයාගේ නිදහස් දින පණිවිඩයේ මෙසේද සඳහන් වේ.
අද දින අප 77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තු හද දරමිනි. ශ්‍රී ලංකා ඉතිහාසය ප්‍රවර්තනය කරමින් උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක් ව ගොඩනැඟූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අප මේ වන විට අලුත් මඟකට පිවිස ඇත. පසුගිය සියවසේ අපට අහිමි වූ සහ අපට මඟහැරුණු පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් යළි ගොඩනඟා ගැනීමේ අභියෝගය සමඟ අපි සැමදෙනා මේ වන විට සාමුහිකව පොරබදමින් සිටිමු.
අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතුය. රුහිරෙන් කඳුලින් අරගල කළ ඉතිහාසයේ සියලු විරුවන්ගේ කැපකිරීම් වල අපේක්ෂාව වූයේ ද එයයි. ඒ අනුව පුද්ගලිකවත් සාමූහිකවත් අප ඒකීය පද්ධතියක් ලෙස සමාජීය, පාරිසරික හා ආචාරධාර්මික මං ඔස්සේ සංවර්ධිත නූතන ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැඟිය යුතුය.
නව රජය ලෙස එහිදී පසුගිය මාස හතර තුළ මූලික වශයෙන් සවිමත් ආර්ථිකමය පදනමක් මත රට ස්ථාවර කිරීම, නව දේශපාලන සංස්කෘතියක් අභ්‍යාස කරමින්, දේශපාලනය හා දේශපාලනඥයා පිළිබඳ වූ නව පරමාදර්ශයක් වෙනුවෙන් කැපවීම, ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් තොරව අනෙකා දෙස සමානාත්මතාවෙන්, ගෞරවනීය හා සහකම්පනීය ලෙස බැලීම හා සැලකීම කෙරෙහි ජනතාව මෙහෙය වීම හා නීති බල ගැන්වීම, ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ අපගේ මුඛ්‍ය පරමාර්ථ සාධනය කර ගැනීම සඳහා වූ ප්‍රතිපත්තිමය හා ක්‍රියාකාරී එළැඹුම සනිටුහන් කරමින්, අවදානමට ලක් වූ හා ලක් විය හැකි කිසිඳු පුරවැසියෙක් මඟ නොහැරෙන පරිදි අත්‍යවශ්‍ය සමාජ කණ්ඩායම් වෙත ප්‍රවේශය සහතික කරන සුබසාධන යාන්ත්‍රණ සැකසීම, අපට මඟහැරුණු නව්‍ය විද්‍යා හා තාක්ෂණ දියුණුව අත්පත් කර ගැනීම සඳහා ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමට අවැසි මුල් පියවර තැබීම, දූෂිත පාලකයන් සිටින රටක් ලෙස වූ පූර්ව නිගමනය බැහැර කර ලෝකයේ සියලු රටවල් හා ජාතීන් සමග වඩා විශ්වාසනීය ලෙස ගනුදෙනු කළ හැකි නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් සහිත රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ යළි ශ්‍රී ලංකාව සන්නාම ගත කිරීම යන කාර්ය වෙත අපගේ අවධානය යොමු විය.
මේ අනුව පැවැති දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද මෙරට පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව නමුත්, ස්ථාවරව ඉදිරියට යමින් සිටී.
අපගේ පොරොන්දුව පරිදිම අද වන විට අප ජාතික පුනරුද යුගයක් වෙත ශ්‍රී ලංකාව කැඳවා යාමට මේ වන විට සමත්ව සිටිමු. ඒ අනුව දැන් ඇත්තේ ඉහත කී පදනම මත ක්‍රමානුකූලව සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කරගැනීම පිළිබඳ වූ ඉතිහාසයේ වඩා නිර්මාණශීලීම කාර්‍යය නොසැලෙන විශ්වාසයෙන් යුතුව ඉදිරියට රැගෙන යාමයි. ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාව වඩා ශක්තිමත්ව හා විශ්වාසයෙන් යුතුව පෙළගැසෙන ලෙසත්, නිදහස පිළිබඳ වූ නූතන සුසමාදර්ශයක් ගොඩනැඟීමේ කාර්යය හා එක්වන ලෙසත්, පුනරුද යුගය සඳහා වන සාමුහික ඇරඹුමට එක්වන ලෙසත්, 77 වන ජාතික නිදහස් දිනය සමරන මෙම අවස්ථාවේදී මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවට මම ආරාධනා කර සිටිමි.
COMMENTS
තව මොනවාද ආරම්භ කරන්නේ? දැනටමත් පුනරුදය උදා වෙලා ඉවරයි. නිහතමානීකමට එකක්වත් කියන්නේ නැහැ. එච්චරට සරලයි.
හරිම ලස්සන රචනාවක්. කවුද දන්නෙ නෑ රචකයා
හොඳයි කිව්වා ජනාධිපතිතුමනි (සහෝදර ජනාධිපති)
පලපුරුදු කට්ටිය අස් වෙවී යන එක තමයි අවුල නේද? අරහෙන් රතු ලේබල් ගහපු කන්ටෙනර් තුන්සිය ගණන් කිසිම චෙක් කිරිල්ලක් නැතුව මුදා හරිනවා. හාල් ටෙන්ඩර් හතරවෙනි වතාවටත් ෆේල් වෙනවා. අළුත් බදු නිසා වාහන මිල කෝටිය පැනලා, හාල් කිලෝ එක රුපියල් 300 පැනලා. පොල් දකින්නවත් නෑ. ලුනු පිටරටින් ගෙන්න ගත්තා දැන් ඒකේ මිලත් වැඩි වෙලා. ඉතිහාසේ ලොකුම ණය මුදල ගන්නේ අපියි කියලා පාරම්බානවා. අනේ මන්දා මේකද පුනරුදේ කියන්නේ?
ජයහේ ශ්‍රීලංකා
ජයවේවා! මේ රජයට රටේ වෙනසක් කල නොහැකි නම් එසේ කල හැකි කිසිදු රජයක් මේ බිමේ පහළ නොවනු ඇත. එබැවින් හාල් පොල් වාහන ලාබෙට ගැනීමේ මානසිකත්වයට වඩා එහාට ගිය අභිලාෂයක් රටේ ජනතාවට තිබිය යුතුය. රටේ පාලකයන් අල්පේච්ඡතාව අනුගමනය නොකර සෙසු අයට එසේ විය නොහැක. පරණ පාරේම යන්නට දඟලන විපක්ෂ මේ ගැන සිතිය යුතුය .
අනුර, අද නිදහස් දිනයේ සිටවත් බොරු නොකීමට අධිෂ්ඨාන කරගන්න. එයම ජනතාවට මානසික නිදහසක් ගෙන දෙනු ඇත.
මෙයා නේද මිට කලින් නිදහස් උළෙලවල් සැමරීම වැඩකට නැති දෙයක් කිව්වේ? අනේ මන්දා?
කුහක තක්කඩි, ඉස්සර කිව්වේ නිදහස සමරන එක නාස්තිකාර පලප්‍රයෝජනයක් නැති දෙයක් කියල, එත් දැන්! රජවරු වගේ වාහන පිරිවරාගෙන යනවා උත්සවවලට.