(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනා 22 වැනි සංශෝධනය නීත්‍යානුකූල රාමුවක් යටතේ පරාජය කරන බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.

මෙම නව සංශෝධනයේ ප්‍රතිවිපාක තක්සේරු කරන්න බැරි තරම් උග්‍ර බැවින් එය පරාජයට පත් කළ යුතු බවද ජී.එල් පීරිස් මහතා කීය.

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද(10) පැවැති මාධ්‍ය හමුව අමතමින් ජී.එල්. පීරිස් මහතා මේ බව කීය.

මේ සංශෝධනය ක්‍රියාත්මක වුණොත් රටේ මානව හිමිකම්, විපක්ෂයේ නීත්‍යානුකූල කාර්යභාරය බාධාවකින් තොරව කරගෙන යාමට ඇති හැකියාව, අවසානයේ ජනාධිපති ධූර කාලය දීර්ඝ කිරීම, පාර්ලිමේන්තුවේ ධූර කාලය දීර්ඝ කිරම වැනි කරුණු සම්බන්ධයෙන් බොහොම පැහැදිලි අවදානමක් ඉස්මතු වෙනවා

මෙය විනිශ්චයකාරවරුන්ගේ වයස අවුරුදු දෙකකින් වැඩි කිරීමට සීමා වුණු සංශෝධනයක් නෙමෙයි.එයින් ඔබ්බට ගොස් රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියට මෙන්ම අපි සියලු දෙනා චිරාත් කාලයක් ආරක්ෂා කරගත් ආයතන වලට සෘජුවම පහරක් එල්ල වෙනවා යනුවෙන් ද ජී.එල් පීරිස් මහතා කීය.