(අජිත්ලාල් ශාන්තඋදය සහ කපිල කුමාර)

ඇලපාත පොලිස් වසමට අයත් නිරිඇල්ල ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී ඝාතනය කළ බවට සැකකළ හැකි තරුණියකගේ මළ සිරුරක් අද (27) දහවල් ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමක් මත සොයාගත් බව ඇලපාත පොලීසිය පැවසුවේය.

නිරිඇල්ල පදිංචි  පී.ජී. සුවිනී දිනාදරී ජයසිංහ (25) නම් තරුණියගේ සිරුර බව පසුව හඳුනාගෙන තිබුනි.
ඇය උදේ 06.30ට නිවසින් පිටව වැඩට යන්නට  රත්නපුර බලා යන බස්රථයට යාමට පිටත්ව ගොස් ඇතිබව විමර්ශන වලදී අනාවරණය වි තිබු බව පොලිසිය පැවසුවේය. 

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වු ඇය මිට මාස දෙකකට පෙර විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමකළ තැනැත්තියක් බව ද පොලීසිය කීවේය. රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. පවුලේ වැඩිමහල් දියණිය ද වේ. ඇයට බාල මල්ලියෙක් සහ නංගියෙක් සිටින බව ද පොලිසිය සඳහන් කළේය.

මෙය ඝාතනයක් විය හැකියැයි පොලීසිය සැක කරයි. ඝාතනයට පෙර ඇය ලිංගික අතවරයකට ලක්කර ඇද්දැයි පොලීසිය සැකකරයි. රත්නපුර සහ නිවිතිගල පොලිස්ථානවල නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.