(බිමල් ශයාමන් ජයසිංහ)

නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් මොරටුව අගුලාන වෙරළ තීරයේ සිට කිලෝ මිටර් 3 ක පමණ දුරකදී අනතුරට පත්වීමෙන් එක් නාවිකයකු අතුරුදන්ව ඇතැයි අඟුලාන පොලිසිය සඳහන් කරයි.

යාත්‍රාව අනතුරට පත්වන විට එහි නාවිකයන් දොළොස් දෙනකු ගමන් කර ඇති ඇති බව පොලිසිය කියයි.

මුර සංචාරයක් නිමවා නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇත.

මුහුදේ නැගුණු දුමාරයක් නිරීක්ෂණය කළ ප්‍රදේශවාසින් යම් අනතුරක් සිදුව ඇති බව ක්ෂණිකව වටහා ගනිමින් ඒ බව අඟුලාන පොලිසියට දැනුම් දීමට මූලිකව පියවර ගෙන තිබුණි.

පොලිස් නිලධාරින් ඇතුළු ආරක්ෂක අංශ පැමිණෙන තුරු මොහොතක් හෝ බලා නොසිටි අඟුලාන ප්‍රදේශයේ ධීවර ප්‍රජාව යුහුසුළුව ඔවුන්ගේ බෝට්ටු මගින් මෙම අනතුර සිදුවූ ස්ථානයට කඩිනමින් යාත්‍රා කිරීමට පියවර ගෙන තිබූ අතර ඒදී ඔවුන්ට දැකගත හැකි වී ඇත්තේ ආරක්ෂිත කබා හැඳ සිටි නාවික හමුදා සෙබළුන් දිය මත පාවෙන අයුරු බවයි.

ඒ අතරවාරයේ අනතුර සැළවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ අඟුලාන පොලිසිය, නාවික හමුදාව මෙන්ම ගුවන් හමුදාවත් වහාම සිය මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබිණි.

ඒ අනුව නාවික හමුදාව, අඟුලාන පොලිසිය සහ ගුවන් හමුදාව, ධීවර ප්‍රජාවගේ මෙන්ම ප්‍රදේශවාසින්ගේ ද සහාය ඇතිව සිදුකළ මෙහෙයුමෙන් නාවිකයන් 12 දෙනාගෙන් 11 දෙනෙකු බේරාගැනීමට හැකිවුණු අතර එක් නාවිකයකු අතුරුදන්ව තිබුණි

එලෙස මුදාගත් නාවිකයන් 11 දෙනාගෙන් 08 දෙනකු මේවන විට ප්‍රතිකාර සඳහා ලුනාව,  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල සහ කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

එම ප්‍රහරක යාත්‍රාවේ සිටි අතුරුදහන් වූ නාවිකයා සොයා  ගුවන් හමුදාවේ එම්.අයි. 17 හෙලිකොප්ටර් යානයක් සහ බෙල් 412 යානයක්ද යොදා ගනිමින් මෙහෙයුමක් ආරම්භ කළ බව නාවික හමුදාව කියයි.