(අංජුල මහික වීරරත්න)

රටක මූල්‍ය පද්ධතියක ශක්තිමත්භාවය තීරණය වන්නේ එම පද්ධතිය තුළ ස්ථාපිත කර ඇති ආයතන හා රෙගුලාසි මත පමණක් නොව ඒවා කෙතරම් ඵලදායී ලෙස සහ කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ අවි ව්‍යාප්තියට මූල්‍ය පහසුකම් සැපයීම වැළැක්වීම (AML/CFT/CPF) පිළිබඳ ශ්‍රී ලංකාවේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම් වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.

මෙම ඇගයීම මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා පැසිෆික් කණ්ඩායම (Asia/Pacific Group on Money Laundering – APG) විසින් මෙහෙයවනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය

මූල්‍ය අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය ජාත්‍යන්තරය හමුවේ ප්‍රදර්ශනය කිරීමටත්, තවදුරටත් වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීමටත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් අත්දැකීම් ගෙන තවදුරටත් ශක්තිමත් කිරීමටත් ශ්‍රී ලංකාවේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම වැදගත් අවස්ථාවක් සලසන බව ද සඳහන් කළාය.

දූෂණය හේතුවෙන් රාජ්‍ය ආයතන කෙරෙහි, විශේෂයෙන්ම මූල්‍ය ආයතන කෙරෙහි, මහජන විශ්වාසය පළුදු වීම ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයට සැලකිය යුතු අභියෝගයක් එල්ල කරන බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්වරු ද සහභාගී වූහ.