
(ඉන්දික අරුණ කුමාර)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සාටකයට හා ජානාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ කීර්තියට මුවාවී හිටපු ආමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විවිධ වහසිබස් දොඩවමින් සිටින බව අපේ ජන බල පක්ෂයේ ජාතික ලයිස්තු අපේක්ෂක ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
නාඋල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඥානසාර හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.
කුරුණෑගල බුවනෙකභා හෝටල ඩෝසර් කිරිම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වු උන්වහන්සේ කියාසිටියේ බලය හේතුවෙන් පිස්සු දොඩවන පුද්ගලයින් වත්මන් ආණ්ඩුවේ සිටින බවයි.
මෙම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු ගලගොඩඅත්තේ ඥානසාර මෙසේ පැවසුහ.
‘ දැන් ඝෝඨාභය රාජපක්ෂ මහත්තයට යම් කිසි කීර්තියක් ලැබිලා තියෙනවා. මිනිසුන්ගේ චිත්තාරාධනාවට ඔහු පාත්‍ර වී තිබෙනවා පක්ෂ විපක්ෂ බේදයකින් තොරව.
දැන් මේ මහින්ද මහත්තයාගේ සාටකේටයි ඝෝඨාභය මහත්තයාගේ කීර්තියටයි මුවා වෙලා බලන්න අර ජොන්ස්ටන් ඇමැති අර බුවනෙකභා මණ්ඩපේ කඩා දැම්මගෙන් පස්සේ කියනවා මම මයිලකට අත තියන්න දෙන්නේ නෑ මම නගරාධිපතිගේ කියලා. බැරිවෙලාවත් මේ නගරාධිපති දඹුල්ලේ හිටියානම් සීගිරියටත් මේ මනුස්සයා බෝර දානවා.
පොඩිදරුවන්ට යන්න හොද නැහැ අසභ්‍ය පින්තූර තියෙනවා කියලා පෙරළාලා දාන්න බැරිනෑ සීගිරියත් ඒතරම් මොට්ටයි මූ. ජොන්ස්ටන්ට මොකක්ද තියෙන අයිතිය මොනවද කියන්නේ, පොහොට්ටුව බලයට ගේන්න උදව් කරපු කිසි කෙනෙකුට අපි අත තියන්න දෙන්නේ නැහැ.
එතකොට පොහොට්ටුවේ අයට මේ රටේ තියෙන්නේ එක නීතියක් ද? ඒ ඇමැති කට්ටට මුවා වෙලා ඒ ගොල්ලන්ට පුලුවන් ද මේ පුරාවස්තු විනාශ කරන්නයි වෙන අපරාධ කරන්නයි.
වරද කවුරු කරත්, ඒක කොළපාටද ? නිල් පාටද ?සන්ධාන ගත වෙලා කලත් මැදමුලනේ එවුන් කළත් වරද වරදමයි. ඒ වරද වරද හැටියට නොදකින තාක්කල්, මේ වහල් දේශපාලනයේ යෙදෙන තාක්කල් අපිට නිවනක් නැහැ.
ඒ නිසා අද දවසේ භික්ෂූන් වහන්සේලා හැටියට අරගල කරන්න ඕනෑ, සටන් කරන්න ඕනෑ පෙමුණ ගන්න ඕනේ ක්‍රියාශිලිව වැඩ කරන්න ඕනේ. සුද්දන්ගෙන් රට බේරගත්තා වගේම මේ කළු සුද්දන්ගෙනුත් රට බේරගන්න ඕනේ.
ඔය පොහොට්ටුව වෙන්න පුලුවන් අනිත් අය වෙන්න පුලුවන් ඔය ඔක්කොටම තියෙන්නෙ ඡන්ද කැඩෙන එක ගැන ප්‍රශ්නයක්.
හැබැයි අපිට තියෙන්නේ මේ සිංහලයට තියෙන රට නැතිවීම පිළිබද ප්‍රශ්නයක්.මේ කාපට් දැම්මයි කියලා. මහ කජ්ජවල් නෙවෙයි. යටිතල පහසුකම් හදනවා කියලා කියන එක මහලොකු දේවල් නෙවෙයි.මේවා කරන්න තමයි රජයට අපි බදු මුදල් දෙන්නේ කන කෑම ටිකෙන්ද මේ සියල්ලෙන්ම.
මේ හැමකෙනෙක්ම කියන්නේ සංවර්ධනය කරනවලු. හැබැයි සංවර්ධනයෙන් වැඩක් තියෙනවද අවසානෙදී සිංහලයන්ට රට නැති වෙනවා නම්. අපේ ජනබල පක්ෂය හැදුවේ මේ රට තුළ ඉතාම නපුරු විදිහට පමා ඇති සිංහලයන් නැගිට්ටවලා අනාගතය වෙනුවෙන් අද දවසේ අප විසින් කළ යුතු යුතකම් සම්පූර්ණ කරන්න.
එදා චන්ද්‍රිකා නෝනා පැකේජය දෙන්න ලැස්ති වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භික්ෂු පෙරමුණ ගිහිල්ලා පොල් බෙදුවා අපි එදා ගිහිල්ලා පොල් ගැහැව්වා.එහෙම තමයි වන්දිබට්ටකම් කරන වහල් දේශපාලනයේ හැටි. අපිට ඕනෑ පාර්ලිමේන්තුව ඇතුළේ තීරක බලය වෙන්න ඇයි ඒ ?
මේ ලොකේ එකම ජාතිය තමයි සිංහලයෝ තමන්ගේ ජාතියට ඡන්ද ලක්ෂ එකසිය දහයක් තියාගෙන ඒ ඡන්දවල තියෙන බලය එක පිඩකට එකතු කරලා සිංහලයන්ගේ ආණ්ඩුවක් හදාන්නවා වෙනුවට බල කදවුරු ගණනාවකට බෙදිලා මේ රටේ මහජාතිය දුර්වල කරලා තියෙනවා.
ඒ නිසාම සුළු ජන වර්ග වල හා සුළු පක්ෂ වල බලහත්කාරයට යටවෙමින් රටේ අනාගත පරම්පරාවට තියෙන සම්පත්, උරුමයන් බලාගෙන ඉන්දැද්දි වෙන්දේසි කරනවා‘ යැයි ද කියා සිටියේය.
මෙම අවස්ථාව සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග වදින ඉසුරු ජයවර්ධන,වෝල්ටර් තැන්නේ,ප්‍රසාදි බණ්ඩාර,බණ්ඩාර විජේසූරිය සහ නිශාන්ත රම්පිටිය මහත්වරු මෙන්ම නාඋල ප්‍රදේශවාසිහු පිරිසක් ද එක්ව සිටියහ.


COMMENTS
ඕක ඉතින් මහ දෙපළටම කෙලින්ම කිව්වා නම් අහවරයිනේ.. තැන් තැන්වල කෙඳිරි ගාන්නේ නැතුව... පහුගිය කාලෙ වගේ කුරුණෑගල ගිහින් නගරාධිපතිතුමාගේ බෙල්ලෙන් අල්ලන් පොලිසි ගෙනියන්නේ නැත්තේ ඇයි? බය නගරාධිපතිටද, එයාට උඩින් ඉන්න අරක්කු ජොනීටද නැත්නම් ඒ ඔක්කොම රකින රාජපක්ෂලාටද?
හාමුදුරුවනේ කෙළින් කියන්න වහෙන් ඔරෝ නැතිව.. ජොන්ස්ටන් ළඟ ඉන්නේ වෙන කවුරුත් නොවේ මහින්ද, ගෝඨාභය. කෝ ජනාධිපති වෙලා තාමත් ප්‍රකාශයක් ඔය ගැන නොකළේ..? මිනිස්සු දන්නවා ඔය නඩය ගැන.. මහින්ද ආවොත් ඔය ගොඩනැගිල්ලේ අනිත් ටිකත් කඩනවා..
කෞතුකාගාරයේ කඩු උස්සනකොට ඔබවහන්සේලා කොහේද හිටියේ? සීගිරියේ ඝාණ්ඨාරේ උස්සනකොට කොහේද හිටියේ? එදා ඕක නැවැත්තුවා නම් මේගොල්ලෝ මේවා කරන්නේ නැහැ. දැන් පරක්කු වැඩියි. රට කාලා තමයි නවත්වන්නේ...
හරියට හරි.. මේ කසිප්පු සහ පොල් අරක්කු කාරයාගේ හිතේ එයා තමයි කුරුණෑගල බුවනෙකබාහු කියලා. මෙවැන්නන්ගේ විෂදළ ගලවන්න සුදුසුම කාලය දැන් ඇවිල්ලා... ඡන්ද දායකයින්ට කරන ආයාචනයත් එයයි.
කොහෙද හාමුදුරුවනේ, ජනාධිපතිට කීර්තියක් හම්බ වෙලා තියන්නේ? මාස 8ක් තිස්සේ හුළං බැහැපු පඹයෙක් වගේ බලාගෙන ඉන්නවා කියලා නම් මිනිස්සු දන්නවා. ඇයි පුරාවිද්‍යාව භාර අගමැතිගේ නැත්තම් ජනාධිපතිගේ ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණයක් කරන්න බැරි කඩපු එකාව අත්අඩංගුවට ගන්න කියලා?. කුරුණෑගල ශාපි දොස්තර ඕකට ගෑවිලා හිටියානම් බුවනෙකබාහු රජතුමාට මෙලහකට ඕකට නීතිය ක්‍රියාත්මක කරවගන්න තිබුණා.
දේශපාලුවන් එකාටඑකා හොර දූෂිතයන්... බල තණ්හාව, පැවැත්ම තමයි ඔවුන්ට වටින්නේ...
පුරාවිද්‍යා පනත කියන්නේ හුඟක් බලතල තියෙන පනතක්... ජොන්ස්ටන්ට ටොකු අනින පිරිස ඇයි ජනාධිපතිවරයාගෙන් අහන්නේ නැත්තේ හොරගල් අහුලන්නේ නැතුව ඔහුට තියෙන බලතල පාවිච්චි කරලා නගරාධිපතිව අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කියලා? ජොන්ස්ටන්ට කට වැරදුණා. හැබැයි ජොන්ස්ටන් කවදාවත් සිංහල, මුස්ලිම් භේද ඇති කරන්න කතා කලේ නැහැ. ඔබවහන්සේම තැනක කිව්වා 2015 මහින්ද පරද්දන්න මුල් වුණා කියලා. ඔබවහන්සේ මහින්ද පරද්දන්න, 2012 අවුරුද්දේ වගේ මට මතක, සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති කරලා මහින්ද ඇති කරපු රටේ සමගිය නැති කළා. ඔබ වහන්සේ එදා ලක්මාතාවට කරපු කැළල අදටත් මැකිලා නැහැ. මේ මැතිවරණයත් එනකොට අටළුගම හරහා, මුහුදු මහා විහාරය හරහා සහ වෙනත් විදිහට පිරිසක් නැවතත් මුස්ලිම්වරුන්ට එරෙහිව සිංහලයන් උසි ගන්වන්න හැදුවා. නමුත් සිංහලයින් ඒ උගුලට අහුවුනේ නැහැ. ඔබවහන්සේද මුල්වෙලා ගෙනාපු යහපාලන ආණ්ඩුව මේ රටට කරපු විනාශයට ඔබත් වග කියන්න ඕනේ. ලොකුම විහිළුව නම්, දයාසිරිද ඇතුළුව අද ජොන්ස්ටන්ගේ වචනයක් අල්ලාගෙන කෑමොර දෙන්නේ මේ රටේ සිංහල බෞද්ධ සමාජය විනාශ කරන්න මුල් වුණු සිරිසේනගේ පාලනයේ කොටස්කරුවන් වීම...
අනේ අපේ හාමුදුරුවනේ.. රාජපක්ෂලා බබාලා කරන්න එපා.. ඔය ජොනීලා ඕවා කලින් අහලා කරන වැඩ.
හාමුදුරුවනේ..., අපිට පව් සිද්ධ කරන්නේ නැතිව ඉන්නවද? එක එක්කෙනාට සුදුහුණු ගාන්නේ නැතිව ඔය වැඩේ කරපු අය ගැන දන්නේ නැතිනම් නිශ්ශබ්දව වැඩ ඉන්න.
මේ ඥානසාර හාමුදුරුවෝ යහපාලන ආණ්ඩුවට උදව් කලේ නැහැ. හොඳ ඉඩම් කෑල්ලක් එහෙම ගෝඨා මහතා පූජා කළා. අපිත් බලාගෙන ඉන්නේ ඇයි මේ හොර රැලට බනින්නේ කියලා. සමහරවිට තේරිලාද දන්නේ නැහැ සුළඟ හමන අත වෙනස් වෙලා කියලා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා එයා ජනාධිපතිවරයාටත් වඩා බලවත් විධියටයි කතා කරන්නේ. අරක්කු මුදලාලිලා මේ වගේ බලයක් හිමිකර ගැනීම ගැන ජනතාවට සැක නොසිතේද? දේශපාලකයින් සහ ඔවුන්ගේ පිරිවර චණ්ඩින්ය. ගමේ අරක්කු මුදලාලිත් චණ්ඩියෙකි. රටේ අරක්කු මුදලාලිත් චණ්ඩියෙකි. රටේ හාල් මුදලාලිත් තවත් පැත්තකින් චණ්ඩියෙකි. පාතාලයද චණ්ඩින්ය. කුඩු මුදලාලිලාද චණ්ඩින්ය. ප්‍රජාතන්ත්‍රවාදී මුතුඇටයේ අනෙක් පුරවැසියන් නිවටයෝද?
හාමුදුරුවන්ට අපහාස කරන්න එපා... මේ රටේ සිංහලයාට ප්‍රශ්න තියෙනවා. උන් වහන්සේ එදා ඉඳන් පෙනීසිටියේ මේ ජාතිය වෙනුවෙන්. උන් වහන්සේ කරන්නේ ජාතියේ අවශ්‍යතාවයයි.
අද නියම පාක්ෂිකයෝ පැත්තකට දාලා ලඟදි එක්සත් ජාතික පක්ෂයෙන් එකතු වුනා.