(සුජිත් හේවාජුලිගේ)

යුද සමයේදී මානුෂීය සහ වෛද්‍ය සේවකයන්ගේ පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර පිළිගෙන ඒ සම්බන්ධයෙන් සමාව ගන්නා ලෙස ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වාර්තාවක් මගින් ශ්‍රී ලංකාවට නිර්දේශයක් කර ඇති බවත් මෙම නිර්දේශය ලබන පෙබරවාරි මාසයේදී පැවැත්වෙන 64 වැනි මානව හිමිකම් කවුන්සිල සැසියට ඉදිරිපත් විය හැකි හෙයින් ලංකාව ඊට උත්තර බැදීමට සූදානම් විය යුතු බවත් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ලංකාවේ අදහස් විමසීමකින් තොරව ඒකපාර්ශවිකව මෙවැනි වාර්තාවක් නිකුත් කිරීම වැරදි ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළේය.

මෙවැනි වාර්තාවක් සකස් කළ යුත්තේ ලංකාවේ ප්‍රතිචාරයද ලබා ගැනීමෙන් අනතුරැව බවත් එසේ කටයුතු කර නැති හෙයින් ඔවුන් මෙතැනදී ස්වභාවික යුක්තියේ මූල ධර්මය කඩ කර ඇති බවත් මහානාම හේවා මහතා පෙන්වා දුන්නේය.

ලංකාවට සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට පමණක් නොව මානව හිමිකම් කවුන්සිලයටද හැකියාවක් නැති බව ඔහු පැවසුවේය.

මහාචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා මෙසේද පැවසීය.

2026 නොවැම්බර් 26 වැනිදා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වාර්තාවක් හරහා ලංකාවට නිර්දේශයක් කරලා තියෙනවා. මෙරට යුද සමයේදී හා ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයන්ගේ පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන රජය ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි කියලා.

ඒ කාර්යාලය නිවේදනයක් නිකුත් කරලා තියෙන් නේ විශේෂයෙන්ම 2005- 2006 කාලය තුළ සිදුවූ සිදුවීම් ඉලක්ක කරලා. ටීආර් ඕ සංවිධානයේ කාර්යාල සේවකයන් අතුරුදන් වෙලා තියෙනවා කියනවා. 2006 ඔක්තෝබර් මාසයේදී මුත්තූර්වලදී සීඑෆ් සංවිධානයේ සේවකයන් 17 දෙනෙකු ඝාතනය කරලා තියෙනවා කියනවා. ඒ වගේ 2009 වර්ෂයේදී ෂෙල් වෙඩි ප්‍රහාරයකින් පුදුකුඩුඉරිප්පු රෝහල විනාශ කරලා තියෙනවා කියනවා. ඒ වගේ චෝදනා.

මේ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පෙර ශ්‍රී ලංකාවේ අදහස් ගන්න ඕන. එහෙම දෙයක් වෙලා නෑ. කාටවත් ඒකපාර්ශවිකව වාර්තා නිකුත් කරන්න බැහැ. මේක තනිකරම ඒක පාර්ශවික වාර්තාවක්. සාමාන්‍යයෙන් ලංකාවට මේ වාර්තාව දීලා ලංකාවේ ප්‍රතිචාරය එක්ක තමයි වාර්තාවක් හදන්නේ. ඒක තමයි ස්වභාවික යුක්ති මූලධර්මය. ඒ මූලධර්මය මෙතැනදී අනුගමනය කරලා නැහැ. මෙතනදි සාපරාධී වගකීමක් පවරලා තියෙනවා.

නමුත් මානව හිමිකම් කමිටුවේ නිර්දේශවල එවැනි දෙයක් නෑ. මානව හිමිකම් කාර්යාලය කියනවා රජයට මේ චෝදනා පිළිගන්න කියලා. 2027 පෙබරවාරි මාසයේ එන හැට හතර වැනි සැසි වාරයට මේක එන්න පුළුවන්. මේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න වෙනවා. මෙතනදී සාක්ෂි විභාගයක් කරලා නෑ. හොයලා බලලා නැහැ. ලංකාවට අවස්ථාව දීල නැහැ. ස්වාධීන කොම්ෂන් දාලා සාක්ෂි විමසලා නැහැ.

ලංකාව දැනට වගකීමේ ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යනවා. ස්වාධීන අභිචෝදක කාර්යාලය පිහිටුවන්න කියලා එ් අය කියනවා. ඒක සාකච්ඡා කරගෙන යනවා. රෝම ප්‍රඥප්තිය අත්සන් කරන්න කියලා කිසිම රටකට කියන්න බැහැ. ඒක තීන්දු කරන්නේ ලංකාව. ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටක්. අපි දැන් ඉඳන් ලෑස්ති වෙන්න ඕන අපි කරපු වැඩ සහ ඉදිරියේදී කරන වැඩ ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කරැණු ඉදිරිපත් කරන්න. මල්ලෙන් එළියට පැන්න වගේ තමයි දැන් වැඩේ වෙලා තියෙන්නේ. ඉදිරියේ මේක එන්න පුළුවන්. ඒ නිසා ලෑස්ති වෙන්න ඕන.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට ලංකාවට සම්බාධක පනවන්න බැහැ. ඒක මානව හිමිකම් කවුන්සිලයටත් බැහැ. එ්වා කරන්න ආරක්ෂක මණ්ඩලයට යන්න ඕන. ඒගොල්ලන්ට නිශේධ බලය තියෙනවා. අපි කරන වැඩ අනෙක් රටවල් සමග සන්නිවේදනය කරගන්න ඕන. ඉන්දියාව මහ බ්‍රිතාන්‍ය ජපානය දකුණු අප්‍රිකාව දිනාගෙන ඒ රටවල් එක්ක එකතුවෙලා වාර්තාවක් පිළිගන්වන්න ඕන.