(ටී.කේ.ජී.කපිල)

ඇමෙරිකාව , ප්‍රංශය සහ කැනඩාවේ සිට කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් කීපයක් වෙත කූරියර් පාර්සල් 07 ක් ලෙස එවා තිබූ රුපියල් කෝටි හයක් වටිනා විශ මත්ද්‍රව්‍ය තොගයක් සීදුව පිහිටි  " කළම්බු කාගෝ "  නැමැති පෞද්ගලික භාණ්ඩ නිශ්කාශන ආයතනය වෙත එවා තිබියදී  රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (07) දින සවස අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම කූරියර් පාර්සල් 07 තුළ කුෂ් නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 08 ක් , මැන්ඩි නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160 ක් , එක්ස්ටැසී පෙති 350 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි .

මෙම පාර්සල් මාස දෙකක පමණ කාළයක් අයිතිකරුවන් රැගෙන නොගොස් තිබීම නිසා , එම පාර්සල්  වල සදහන් ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේ දී ඒවා ව්‍යාජ ලිපිනයන් බවට කරුණු අනාවරණය වීමත් සමග මෙම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීමට රේගු නිලධාරීන් තීරණය කර තිබේ .

මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතය .