(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වන ආකාරයේ රෝගී තත්ත්ව ඇතිවීම සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වන්නැයි මෝෂමක් මාර්ගයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට හෘද රෝග හා විකලාංග රෝග, පෙනහලු රෝග, සම්බන්ධයෙන් විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරුන් ඇතුළත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.
රඹුක්වැල්ල නමැත්තාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා ලබන 26 වැනිදා වනවිට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරවීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන “ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය කරන විමර්ශනයේ 08 වැනි සැකකරු ලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබු කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා පසුගිය 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවත්, ඔහු අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි අන්දමේ රෝගී තත්ත්වයකින් පසුවන බවත්, පසුගිය 15 වැනිදා සිට 22 වැනිදා දක්වා කාලය තුළ ඔහු අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවත් දැනුම් දෙමින් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ වාර්තාවක් ඉදිරිපත් කළ අතර කෙහෙළිය රඹුක්වැල්ල නොමැතිව නඩුව විමසීය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ගිලන් රථයකින් අධිකරණයට කැඳවාගෙන පැමිණියේය.
කෙහෙළිය රඹුක්වැල්ලගේ පපුවේ වම් පස වේදනාවක් ඇති බවත් ඔහු හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළෙන බවත් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ වාර්තාවේ සඳහන් කර තිබූ අතර කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාට ප්‍රතිකාර කළ සිංගප්පුරූ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකු නිකුත් කළ වෛද්‍ය නිර්දේශවල ඡායාස්ථ පිටපත්ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මෝෂමක් මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලෙන් හෝ ජාතික රෝහලෙන් ප්‍රතිකාර කිරීමට හැකියාව ඇද්ද? පසුගිය පෙබරවාරි 03 වැනිදා සිට 14 වැනිදා දක්වා ඔහුට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව 15 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි තරමේ රෝගී තත්ත්වයකින් පසු වුණේද? යන්න සම්බන්ධයෙන් විද්‍යාත්මක හේතු දක්වන ලෙස විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට නියම කරන්නැයි ඉල්ලීමක් කර තිබිණි.
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබූ කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාට ජාතික රෝහලෙන් ප්‍රතිකාර දීමෙන් අනතුරුව පසුගිය 15 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට යම් බාධාවක් තිබුණේද? යන්න සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයෙන් හේතූ විමසන්නැයි ඉල්ලා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය විශේෂඥ වෛද්‍ය මණ්ඩලය හමුවට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා කැඳවා කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා පසුගිය 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබු බාධාව සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමට නියම කරන්නැයි අධිකරණයන් ඉල්ලීමක්ද කළාය.
ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතතුරුව පැමිණිල්ලේ ඉල්ලීම්වලට අවසර දෙමින් අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය මේ සම්බන්ධ වාර්තාව ලබන 26 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමටද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ඇති ලෙඩක් නෑ. තිබ්බත් හොර ලෙඩ...!
රිමාන්ඩ් බන්ධනාගාර ගත වුණාම හිතට එන වේදනාවට ලෙඩ වෙලාද..? මහජනයා වස බෙහෙත්වලට ලෙඩවෙලා..
මොවුන් එළියේ හිටියත් රට විනාශ කරනවා ඇතුළට දැම්මත් රට විනාශ කරනවා, දැන් විශේෂඥයින් වෛද්‍යවරුන් නම දෙනෙක් තමන්ගේ සියලු රාජකාරි පැත්තකට දාලා මේ අය ගැන හොයන්න තමන්ගේ කාලය හා ශ්‍රමය වැය සිදුවෙලා. ඒකෙන් ඇත්තටම රෝගිවෙලා අසරණව ජීවිතයත් මරණයත් අතර සටනක ඉන්න මිනිස්සුන්ට කොතරම් අසාධාරණයක් වෙනවාද?
මේ වගේ අය තමයි වැඩිහරියක් පාර්ලිමේන්තුවේ ඇමැතිකම් කරන්නේ...!
අහිංසක රෝගීන් වෙනුවෙන් සහ අසාධාරණයට එරහිව ඉතා එඩිතරව ඉදිරිපත්වූ සිවිල් සංවිධානාවල් ඇතුළු, මෙම නඩුව මෙහයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සහ මහේස්ත්‍රාත්වරිය රටට හොඳ ආදර්ශයක් සහ ආඩම්බරයක්. මෙතැන් සිට මේ රටෙන් දූෂණය නැත්තටම නැති කරන්න කටයුතු කරමු.
අනේ අනේ මන්දා .ප්‍රසිද්ධ මාධ්‍ය තුලින් දැක්කා 2017 වස්සරේදී ලබාගත්ත ප්‍රතිකාර අනුවලු 2024 දී වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරලා තියන්නේ .මහජනයා අන්දන ආකාරයටම අධිකරණයත් අන්දන්න හදනවා වගේ ?
ඕකේ ඉන්නකන් ඔතැන තමයි. බොරු සංදර්ශන.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ඇතුළු මෙම නඩුව ගොනුකළ හා පවත්වා ගෙනයන සියලුම මහත්ම මහත්මීන් දැඩි ලෙස අරක්ෂාකාරී විය යුතුයි. මොකද රටේම මිනිස්සු මළත් ඔවුන්ගේ කොමිස් ටිකගන්න බෙහෙත් ගෙනාපු අයට, මෙම නඩුව ගොනු කළ හා පවත්වා ගෙනයන සියලුම මහත්ම මහත්මීන්ට කරදරයක් හෝ ජීවිත හානි කිරීමට ඔවුන් නොපැකිලෙන හා දෙවරක් නොහිතන බව සිහි තබාගනු මැනවි.
රිමාන්ඩ් කරන්න හදනකොටම ලෙඩවෙලා. එහෙම වෙන්නේ කොහොමද කියන එක ගැටළු සහගතයි. ඒ නිසා ඇත්තටම ලෙඩවෙලාද කියා පරීක්ෂාකිරීම හොඳයි...
ලෙඩ වාට්ටුද ඇමැතිකම් කරන්නේ...?
මොන කරුමයක්ද හලෝ මේ..? මෙහෙම රටේ මිනිසුන්ට වදදෙන්නේ නැතුව...!
කමිටුවක්නේ...! ඕක බොහෝම පරණ සින්දුවක්නේ...!