(මනෝප්‍රිය ගුණසේකර)

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් අත්තනෝමතිකව හා අනීතික අන්දමින් ප්‍රසම්පාදන කටයුතු වලීන් තොරව, කොරියානු සමාගමකට බද්දට දී රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් වු අධිචෝදනා පත්‍රය හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතාට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඔහු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට අද (03) නියම කළේය.

රුපියල් ලක්‍ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ බැඳුම්කර මත විත්තිකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මුදාහැරීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරමින් කොන්දේසියක් පැනවීය.

2012 ජූනි 12 වැනිදාත් අගෝස්තු 06 වැනිදාත් අතර කාලයේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කර දේශීය වෙළෙඳ පොළට විකිණීමේ කාර්යය සඳහා කොරියානු සමාගමක් තෝරාගෙන ප්‍රසම්පාදන කටයුතු වලීන් තොරව, අත්තනෝමතිකව හා අනීතික අන්දමින් එම සමාගමට බද්දට දී රජයට පාඩු කිරීමෙන් ”දූෂණය” නමැති වරද කළ බවට විත්තිකරුට එරෙහිව චෝදනා 05ක් යටතේ නඩු පවරා ඇත.

අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ සඳහන් ‘දූෂණය’ නැමති වරද කළ බවට චෝදනා කරමින් විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.

විත්තිකරුට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් 13 දෙනෙකු කැඳවීමට සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛණ 25ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරනයට දැනුම් දී ඇත.

අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අධිකරණයෙන් මීට පෙර අවස්ථාවක නිකුත් කර තිබු සිතාසියකට අනුව නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකාර හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා අධිකරණයේ පෙනී සිටියේය.

පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව විත්තිකාර හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහි අධි චෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී බාර දුන්නේය”
විත්තිකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු දක්වමින් අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අධිකරණයෙන් නිකුත් කර තිබු සිතාසියකට අනුව තම සේවාදායකයා උසාවියේ පෙනී සිටින හෙයින් ඔහු ඇප මත මුදාහරින්නැයි ඉල්ලා සිටියේය.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරු ඇප මත මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීමට තීරණය කළේය.