( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

පොලිසියට ඔත්තු ලබා දුන්නැයි යන සැකයෙන්  යතුරුපැදියකින් යමින් සිටි ව්‍යාපාරිකයෙකුට  වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ  ප්‍රධාන සැකකරු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ සඳහන්කරයි.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු මෙම ඝාතනය සිදුකළ අපරාධකරුවන් සඳහා රැකවරණය ලබාදීමේ කටයුතු කර ඇති බවට අනාවරණය වී ඇත. සැකකරුවන්  අත්අඩංගුවට ගෙන ඇත්තේ  කළුතර නගරයේ ක්ලබ් මාවත ක්‍රීඩා පිටිය අසලදීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ප්‍රධාන සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව‍ය තිබී පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් 28 වෙනිදින  කළුතරදකුණ මරික්කාර් වීදිය පදිංචිව සිටි පකිර් මොහොමඩ් මොහොමඩ් සපික් නමැති 43 හැවිරිදි  ව්‍යාපාරිකයා පල්ලියට ගොස් ආගමික වතාවන් ඉටුකර යළි නිවස බලා පැමිණෙමින් සිටියදී  වෙට්ටුම කඩේ ප්‍රදේශයේදී මෝටර් රථයක් යතුරුපැදියට මඟ හරස්කර  ඒ තුළ සිටම  ටි 56 ගිනි අවකින් වෙඩි තබා  ඝාතනය කර පලා ගොස් තිබිණි.