ඉරාන ඉස්ලාමීය ජනරජය, ඔවුන්ගේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි එම ධුරයට තෝරා ගෙන ඇත. මොජ්තාබා කමේනි යනු ඝාතනයට ලක් වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ​දෙවැනි පුත්‍රයාය.

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ඉහළින්ම සිටින්නේ උත්තරීතර නායකයාය. උත්තරීතර නායකයා තෝරා ගැනීම සිදුවන්නේ ඉරාන විශේෂඥ සභාව මගිනි. මෙය එරට ප්‍රධාන පෙළේ පූජකවරුන් 88 දෙනකුගේ සැදුම්ලත් කණ්ඩායමකි.

කමේනිගේ ඝාතනයෙන් පසු අනුප්‍රාප්තිකයකු ලෙස මොජ්තාබා කමේනි පත්කර ගැනීම සිදුවූයේ එම සභාවේ පැවැතිවුණු ඡන්ද විමසුමෙනි. බහුතරයේ කැමැත්ත ඔහුට හිමිවුණු බව පැවැසෙයි. සභාව රැස්වූයේ රහසිගතවය. ඒ, ඇමරිකාවෙන් හෝ ඊශ්‍රායලයෙන් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පැවැති බැවිනි.

පියා අයතුල්ලා අලි කමේනී මෙන්ම, දැඩි මතධාරියකු වන 56 හැවිරිදි මොජ්තාබා කමේනි, සිය පියා යටතේ ඉරාන ආරක්ෂක අංශ තුළ විශාල බලපෑමක් සහිතව කටයුතු කළ අයකු  බඉව පැවැසෙයි. ඊට අමතරව, ඔහු දැවැන්ත ව්‍යාපාර ජාල මෙහෙයවන පූජකවරයකු ලෙස ද ප්‍රකටය.

ඉරාන රජයට එරෙහිව ඉරාන වැසියන් විරෝධතා පවත්වද්දී, ඔවුන් නිර්දය ලෙස මර්දනය කිරීමට උපදෙස් දුන් තැනැත්තකු ලෙස ද මොජ්තාබා කමේනි සැලකෙයි.

අයතුල්ලා අලි කමේනිගෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස ඉරාන උත්තරීතර නායකයා විය යුතු යැයි කාගේත් අදහස වී තිබුණේ කමේනීගේ වැඩිමල් පුත්‍රයා මුස්තාෆා කමේනී ය.

කෙසේ නමුත් ඉකුත් 28 වැනිදා අයතුල්ලා අලි කමේනී ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය පහර දෙද්දී. කමේනීගේ වැඩිමල් පුත්‍රයා මුස්තාෆා ද ජීවිතක්ෂයට පත්විය.