(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ  නිමාලි කහවල)

සිය එකම සහෝදරියගේ විවාහ මංගල්‍යයේ සුබපැතුම්පත් හා මංගල ඡායාරූපය මනාලයාගේ පියා සමඟ  යතුරුපැදියෙන් රැගෙන එමින් සිටියදී සිදුවූ අනතුරකින් සහෝදරයා මියගොස් මනාලයාගේ පියා බරපතල තුවාල ලබා ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි 

අනතුරින් මියගොස් ඇත්තේ හඳපාන්ගොඩ කොටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි හඳපාන්ගොඩ ජාතික පාසලේ   10  වන වසරේ ශිෂ්‍ය නායකයකු ලෙස කටයුතු කළ බිම්සර ප්‍රබෝද් රණසිංහ නැමැති 15 හැවිරිදි සිසුවකු බව පොලිසිය කියයි.

විවාහ මංගල්‍යය දෙපාර්ශවයේම සහභාගිත්වයෙන් අද (25) එකම දිනක දී පවත්වා ඇති අතර  මනාලිය මනාලයාගේ නිවසට ඇරල වීමෙන් අනතුරුව මනාලයාගේ පියා සහ මනාලියගේ සහෝදරයා සුබපැතුම්පත් සහ මංගල ඡායාරූප රැගෙන යතුරුපැදියෙන් කුරණ මාර්ගයේ පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

 ඔවුන් දෙදෙනා රැගත් යතුරු පැදිය කුරණ  බෑවුම් ප්‍රදේශයේදී    පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් කානුවට වැටී  ඉදිරියට ගොස් අනතුරුව කොන්ක්‍රීට් ලෑල්ලක ගැටී තවත් මීටර් පහළොවක් පමණ ඉදිරියට ඇදී ගොස් කොස් ගසක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි

ඔවුන් දෙදෙනා රැගත් යතුරු පැදිය කාණුවට වැටීමට පෙර අන්නාසි ගාලක ගැටී ඇති අතර එහි තිබූ අන්නාසි ගෙඩියක් මීටර් හැටක් පමණ දුරකට විසිවී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුවා සහ අනෙක් අය හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසුවා මිය ගොස් තිබූ අතර අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

පානදුර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ  සහකාර පොලිස් අධිකාරි උදය කුමාර  මහත්වරුන්ගේ උපදෙස් මත ඉංගිරිය පොලිසිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත  චන්ද්‍රලාල් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර් පි විතාරණ පොලිස් කොස්තාපල් 61586  චතුරංග මහත්වරු පරීක්ෂණ පවත්වති.