(විමුක්ති එස් රුද්‍රිගූ)

ෆේස්බුක් මැසෙන්ජර්, ඉන්ස්ටග්‍රෑම්, ටෙලිග්‍රෑම් සහ වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් රවටා නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් මුදල් ගැරීමේ ජාවාරමක් යළිත් ව්‍යාප්ත වෙමින් පවතින බවත් ඒ පිළිබඳ පැමිණිලි රාශියක් ලැබී තිබෙන බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පසුගියදා ප්‍රකාශ කළේය.

මූලික තොරතුරු අනුව, ඉන්දියාවේ සිටින සංවිධානාත්මක කණ්ඩායමක් මෙම වංචාව සිදු කරන බව එම සංසදය සඳහන් කළේය.

ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් මැසෙන්ජර් හෝ ටෙලිග්‍රෑම් හරහා, මෙම වංචනික කණ්ඩායම පුද්ගලයන් ඉලක්ක කරන බවත් හසුවන පුද්ගලයන් වට්ස්ඇප් වීඩියෝ ඇමතුම් සඳහා යොමු කරගෙන ක්‍රමක්‍රමයෙන් නුසුදුසු ආකාරයෙන් කැමරාව ඉදිරියේ පෙනී සිටීමට පොළඹවා ගන්නා බවත් එම සංසදය කීවේය.

ඉන් අනතුරුව එම වීඩියෝ ඇමතුම් හෝ පණිවුඩවල පිටපත් ලබාගෙන ඒවා පවුලේ සාමාජිකයන්, ඥාතීන් සහ මිතුරන් වෙත යවන බවට තර්ජනය කරමින් මුදල් ඉල්ලා සිටින බවට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කළේය.

මෙම වංචනික කණ්ඩායම පුද්ගලයෙකු ඉලක්ක කිරීමට ප්‍රථමයෙන් ඔහුගේ හෝ ඇයගේ නෑදෑ හිතමිතුරන් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ හිතවත්වන බවද එම සංසදය පැවසුවේය.

මෙවැනි වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පසුගිය මැයි මාසයේදීද ජනතාව දැනුවත් කර තිබිණි.

මෑතකදී වාර්තා වී ඇති සිද්ධීන් කීපයේදී වංචාකරුවන් මුලින්ම ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ඉලක්කගත පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් සමඟ සෘජුව සම්බන්ධ වීමට පෙර එම පුද්ගලයන්ගේ සහෝදර සහෝදරියන් සහ අනෙකුත් ඥාතීන් පවා සමාජ මාධ්‍ය මිතුරු ලැයිස්තුවට එක්කරගෙන ඇතැයිද එම සංසදය ප්‍රකාශ කළේය.

වංචාවට හසුවන පුද්ගලයන්ට මුලින්ම ඉන්ස්ටග්‍රෑම් හරහා කෙටි පණිවුඩයක් ලෙස “හායි” යන පණිවුඩය යැවීම සාමාන්‍ය ක්‍රමයක් වී ඇතැයිද එම සංසදය පැවසුවේය.

ඇතැම් පුද්ගලයන් පළමු පණිවුඩයට ප්‍රතිචාර නොදැක්වුවද දින කිහිපයකට පසුව යළිත් පණිවුඩ ලැබීමෙන් පසු එම සංවාදයට එක්වන බව වාර්තාවී ඇතැයිද සඳහන් වේ.

ආකර්ෂණීය ඡායාරූප සහිත ව්‍යාජ ගිණුම් භාවිත කරමින් විශ්වාසය දිනාගැනීමෙන් පසුව ක්‍රමයෙන් පෞද්ගලික සංවාදයකට පුද්ගලයන් යොමු කර ගන්නා වංචාකරුවන්, පසුව ලිංගික ස්වභාවයේ ඡායාරූප සහ පණිවුඩ යැවීම සිදුකරන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කළේය.

ඊට ප්‍රතිචාර ලැබීමෙන් පසුව වට්ස්ඇප් වීඩියෝ ඇමතුම් සඳහා පුද්ගලයන් යොමු කර ගැනීම මෙම ජාවාරමේ මීළඟ අදියර බව වාර්තාවී තිබෙන බව එම සංසදය පෙන්වා දුන්නේය.

එම වීඩියෝ ඇමතුම් අතරතුර නුසුදුසු ආකාරයෙන් පෙනී සිටීමට පොළඹවා, එම අවස්ථා රහසිගතව පටිගත කර ගැනීමෙන් පසුව තර්ජනය කිරීම සිදුකරන බව පැමිණිලිවලින් අනාවරණය වී ඇතැයිද පැවැසෙයි.

ඇතැම් අවස්ථාවලදී වින්දිතයන් වීඩියෝ ඇමතුමේදී නිරුවත් වී නොසිටියද, ඔවුන් සමඟ සිදුකරන ලද පෞද්ගලික සංවාද සහ පණිවුඩ පදනම් කරගෙනද තර්ජනය කර මුදල් ඉල්ලා ඇති බව සඳහන් වේ.