(අංජුල මහික වීරරත්න)

ඉදිකිරීම් ආරම්භ කර අතරමග නැවතී ඇති මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පැවසීය.

ඉදිරි අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිත බවත්, එම මාර්ගවල ඉදිකිරීම් කඩිනමින් නිම කර ජනතා අයිතියට පවරා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ මුදලින් රුපියල් බිලියන 151ක් දැනටමත් ගෙවා අවසන් කර තිබෙන බවත් තවත් රුපියල් මිලියන 29ක් පමණ ගෙවීමට තිබෙන බවත් කී රාජ්‍ය අමාත්‍යවරයා හිඟ මුදල් ලබාදීම හේතුවෙන් ඇතැම් කොන්ත්‍රාත්කරුවන් නැවතත් ව්‍යාපෘති ආරම්භ කර තිබෙන බව කීය.