( නිශාන්ත කුමාර)


ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බඩ ඉරිඟු වගාව ඇතුළු කෘෂිකර්ම කේෂත්‍ර තුළ පැතිර යමින් පවත්නා සේනා දළඹුවන්ගේ බිත්තර  විනාශ කළ හැකි පරපෝෂිතයෙකු හදුන්වාදීමට ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනයේ   කණ්ඩායමක්  සමත්ව සිටිතැයි  ගන්නෝරුව උද්‍යාන බෝග   පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර අධ්‍යක්ෂක (පර්යේෂණ)    ආචාර්ය කේ.ඒ. එන්. පී   බණ්ඩාර මහතා පැවැසීය.
 

ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනය මගින් සාර්ථක ලෙස අත්හදා බලන ලද ටෙලනොමස් (telenomous) නැමැති දෙබර විශේෂයට අයත්  බිත්තර පරපෝෂීතයින් ශ්‍රී  ලංකාවේ වගාවන් තුළ  පළමු වතාවට මුදා හැරීම පසුගියදා මහියංගණ කෘෂිකර්ම බල ප්‍රදේශයට අයත් රිදීමාලියද්ද පින්නගොල්ල නවනැලිය වෙල්යායේ දී සිදුවිය.
 
මෙම අවස්ථාව සදහා ගන්නෝරුව උද්‍යාන බෝග   පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර අධ්‍යක්ෂක (පර්යේෂණ)    ආචාර්ය කේ. ඒ. එන්. පී. බණ්ඩාර, ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා  ඒ. එම්. ඩී. අතපත්තු, මහියංගණ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක නිලන්ත සරත් කුමාර යන මහත්වරු, ප්‍රදේශයේ කෘෂීකර්ම උපදේශකවරු, ගොවි ගෙවිලියෝ ඇතුළු අති විශාල පිරිසක් එක්ව සිටියහ.
 
සේනා දළඹුවන්ගේ බිත්තර විනාශ කිරීම් සඳහා  වර්ධනය කරන ලද ටෙලනොමස් (telenomous) පරපෝෂිතයින් ප්‍රදේශයේ බඩ ඉරිගු  වගාවන් තුළට මුදා හැරීමද  මෙහිදී සිදුවිය. සේනා දළඹුවන් විනාශක කිරීමේ නියමු   ව්‍යාපෘතියක් ලෙස ප්‍රථම වතාවට ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගන්නෝරුව උද්‍යාන බෝග  පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර අධ්‍යක්ෂක (පර්යේෂණ)    ආචාර්ය කේ. ඒ. එන්. පී .  බණ්ඩාර   මෙසේ කීය.

‘‘මෑතකදී මේ මෙරට බඩ  ඉරිඟු වගාවට විශාල හානියක් සිදු කළ සතෙකු ලෙස සේනා දළඹුවා  හඳුන්වන්නට පුළුවන්. මෙම දළඹුවන් විනාශ කිරීම සඳහා ගොවි ජනතාව විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබූවත් මෙම සතා මර්දනය කිරීම තරමක් අපහසු වුණා. මේ   සම්බන්ධයෙන් ගන්නෝරුව පර්යේෂණ ආයතනය මඟින් සිදු කළ පරීක්ෂණයක  ප්‍රතිඵලයක් වශයෙන් සේනා දළඹුවන්ගේ බිත්තර විනාශ කළ හැකි පරපෝෂිත සත්වයෙකු හඳුන්වාදීමට අපට හැකි වුණා. මෙම සත්වයා පරිසරයේම ජීවත් වන සේනා දළඹුවා වැනි ම   සත්ත්ව විශේෂයක්. දෙබර කුලයට අයත්   මෙම සතා සේනා දළඹුවාගේ බිත්තර මත බිත්තර දැමීම සිදුකරනවා. ඒ වගේම මෙම සතා ඉක්මනින් වර්ධනයවී සිදුවනවා.

මෙම සතාගේ බිත්තර, සේනා දළඹු බිත්තර මත වැටීමත් සමගම සේනා දළඹූවාගේ බිත්තර වලින් 90% ක්  පමණ විනාශයට පත්වෙනවා.  ඉතිරි වන සුළු ප්‍රමාණය විනාශ  කිරීම සඳහාත් අපි දිගින් දිගටම පරීක්ෂණ කරගෙන යනවා. ඒ වගේම පාරිසරික ක්‍රම මගිනුත් එම බිත්තර හා ඉන් පිටවන කීටයන් විනාශයට පත් වෙනවා.

හැබැයි මෙහිදී කිවයුතු  යුතු කාරණයක් තිබෙනවා. යම් වගාවකට මෙවැනි ජෛව  පාලන ක්‍රමයක් යොදා ගන්නේ නම් කෘෂි රසායන යෙදීම සිදු නොකළ යුතුයි. ඇත්තටම එය ගොවියාගේ වියදම් පැත්තෙන් ගත්තත් වාසියක් ලෙස හඳුන්වන්න පුළුවන්. කෘෂිරසායන යෙදුවහොත් සේනා දළඹුවා වගේම මෙම ජීවියා විනාශ වී යනවා. ටික කාලෙකදි වෙන කොහේ හෝ සිටින සේනා දළඹුවන් යළිත් වගාව ආක්‍රමණය කරනවා.  
 
ඒ වගේම මෙම පරපෝෂී සත්ත්වයාගේ පැවැත්ම සදහා  අවට පරිසරය ,  ගහකොළ ඉතා වැදගත් වෙනවා.  කෘෂි රසායන යෙදීමෙන් තොරව මෙම  පරපෝෂිතයින් වගාව තුළ මුදාහැරීම මගින් ඉතා සාර්ථක ලෙස සේනා දළඹුවන් විනාශ කළ හැකි බව මා ප්‍රකාශ   කරනවා."

එහිදී ගොවි මහතෙකු නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් බණ්ඩාර මහතා මෙසේ ද කීය.

‘‘සේනා දළඹුවන් මේ වනවිට බඩ ඉරිඟු වගාව ආක්‍රමණය  කර ඇතත් වී ඇතුළු වෙනත් වගාවන් සඳහා ආක්‍රමණය කළ බවක් දැනගන්නට නැහැ . එම නිසා ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවත් මම ප්‍රකාශ කරනවා"