කාංචන කුමාර ආරියදාස
දඹුල්ල මූලික රෝහලේ අඩුපාඩු සොයා බැලීම සඳහා පැමිණි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලේ බිම වැතිරී නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් නිරීක්ෂණය නොකළේ යැයි රෝගී කාන්තාවන්ගෙන් චෝදනා එල්ල විය.
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ පවතින අඩුපාඩු සොයාබැලීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා , පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නිලධාරීන් කණ්ඩායමක් අද (01) දඹුල්ල රෝහලට පැමිණියහ.
අමාත්‍යවරයා එම වාට්ටුව ඇතුළට නොයා දොර ආසන්නයේ සිට වාට්ටුව දෙස බලනවාත් සමඟ එහි සිටි හෙද නිලධාරිනියක කියා සිටියේ එම වාට්ටුවේ ඉඩ ප්‍රමාණය අවම වීම නිසා අපහසුතා රැසකට පත්ව ඇති බවයි.
රෝහලේ සිටි රෝගී කාන්තාවන් බිම වැතිරී සිටින ආකාරයත් එක ඇඳේ දෙතුන්දෙනා ප්‍රතිකාර ගන්නා ආකාරයත් අප දුටු අතර එහිදී නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් අමාත්‍යවරයා පිටව යනවාත් සමඟ දැඩි ලෙස කෝපයෙන් කෑගසන්නට වූවාය.
රෝහලේ සංචාරයෙන් පසු අමාත්‍යවරයා රෝහල් භූමියේ ඉදිකෙරුණු වකුගඩු රෝගී අංශයේ රෝහල් කාර්ය මණ්ඩලය සමඟ අඩුපාඩු පිළිබඳව කතාබහ කළේය. දඹුල්ල රෝහලේ පවතින සේවක හිඟය පිළිබඳව රෝහල් සේවකයෝ අමාත්‍යවරයාට දැනුම් දුන් අතර රෝහලේ ඉඩ පහසුකම් අවම බව ද පෙන්වා දුන්හ.
ලංකාවේ සෞඛ්‍ය ක්‍රමවේදය පිළිබඳව මුළු ලෝකෙම මවිතයට පත්ව තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිත්වය පසුගියදා තමන්ට හිමි වු බවත් එහිදී වෙනත් රටවල් වල නියෝජිතයන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පිළිබඳව සතුටු වී ඇමරිකාවට පවා දොස් නගන්නට වූ බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා එහිදි පැවසීය.
එමෙන්ම දඹුල්ල මූලික රෝහලට අංගසම්පූර්ණ රෝහලක් ලබාදීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දෙන බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.




COMMENTS
වාට්ටුවල ලෙඩ්ඩු පිරිලා ඉන්නේ මේවගේ ප්‍රධාන රෝහල් වල විතරයි. ගම්බද රෝහල්වල ඇඳන් 100 ට ලෙඩ්ඩු ඉන්නේ වැඩිමවුනොත් 10 යි. ඉතිරි ඇඳන් 90 ම හිස්. රෝගීන්ගෙන් 90% ක් ම ප්‍රතිකාර ගන්න යන්නේ ප්‍රධාන රෝහල්වලට නිසා එම රෝහල් වල සේවකයින් කාර්ය බහුල නිසා අතපසුවීම් සිද්ධ වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නයට හොඳම විසඳුම තමයි කුඩා රෝහල් වල පහසුකම් උපරිම ලෙස දියුණු කිරීම.
එක ඇඳේ දෙතුන්දෙනා ප්‍රතිකාර ගන්නා නිසාද, අද මුළු ලෝකෙම අපේ සෞඛ්‍ය ක්‍රමවේදය පිළිබඳව මවිතයට පත්ව තිබෙන්නේ? රෝහලේ වැසිකිලි දිහාවට ගියානම් ලෝකය තවත් පුදුමයට පත් වෙයි!
අමුතුවෙන් බලන්න දෙයක් නැ. ලංකාවේ අඩුපාඩු නැති රෝහලක් නැ. ඔය සංදර්ශන වලට වියදම් කරන සල්ලිත් දාලා පුලුවන්නම් ඒවා හදන්න
ලංකාවේ සෞඛ්‍ය ක්‍රමවේදය පිළිබඳව මුළු ලෝකය පමණක් නොව අපිද ඉතා මවිතයට පත් වී සිටිමු.
අර දකුනේ අහිංසක පොඩි ළමයි මැරෙනවා. ඒ ගැන පොඩ්ඩක් හොයන්න
රෝහලක වැසිකිලියකට ගියානම් මෙලොව අපාය බලාගන්න පුළුවන්. ඕනෑම තැනක වැසිකිලිය පිරිසිදුව තිබිය යුතුමය.
ලෙඩා රෝහලට යයි.
රෝහල් වල වැසිකිලි අපිරිසිදු කරන්නේ රෝගීන් සහ රෝගීන් බලාගන්න අය.
ලාල් මහත්තයෝ, එතොකොට රෝගීන්ට සහ රෝගීන් බලාගන්න අයට රෝහල වලට ඇතුළුවීම තහනම් කලානම් ප්‍රස්නේ විඳගන්න හැකියි නේද?
සිංගප්පූරු ඉස්පිරිතාලකට යන්නේ නැතුව මේ මිනිස්සු මොකට මෙහෙ ඉස්පිරිතාල පුරවනවද කියලා හිතනවා ඇති.
රෝහල් වල වැසිකිලි අපිරිසිදු කරන්නේ රෝගීන් සහ රෝගීන් බලාගන්න අයලු එතකොට දොස්තරලා නස්ලා පාවිච්චි කරාම අපිරිසිදු වෙන්නේ නැද්ද. ලාල්ගේ ගෙදර වැසිකිලියක් තිබෙනවානම් ලාල් එය පාවිච්චි කලාම අපිරිසිදු වෙන්නේ නැද්ද.? අපිරිසිදු වෙන නිසා තමයි වැටුප් ගෙවලා ඒවා පිරිසිදු කරන්න මිනිස්සු යොදවලා තිබෙන්නේ. ඒ මිනිස්සු තම රාජකාරිය නොකරන එකයි ප්‍රශ්නය.