( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

හම්බන්තොට වරාය සහ ඒ ආශ‍්‍රිත අක්කර 15,000 ක ඉඩම චීන සමාගම් දෙකකට බදු දීමට ගෙන ඇති කැබිනට් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා  පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප‍්‍රභ කිරීමට   ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) තීන්දු කළේය.

මෙම ව්‍යාපෘතිය මූලිකවම ආරම්භ කළ ඉකුත් රජයේ ඇමතිවරයෙකුව සිටි පෙත්සම්කාර මන්ත‍්‍රීවරයා ඒ පිළිබඳ හොඳින් දැන සිටියදීත් , එම කරුණු වසන් කර ඇතැයි කියමින් නීතිපතිවරයා ඇතුළු පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවය ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කෙරිණි.

පෙත්සම බුවනෙක අළුවිහාරේ ,සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා කියා සිටියේ පෙත්සම්කාර වාසුදේව නානායක්කාර මහතා එම කරුණු සම්බන්ධයෙන් කිසිදු වචනයක් හෝ සඳහන් කර නැති බවද එමඟින් කරුණු වසන් කිරීමක් කර ඇති බවය.