(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ ජනහමුවකට සහභාගි වී සිටියදී ගල් ප්‍රහාර කීපයක් එල්ල කළ පුද්ගලයන් දෙදෙනෙක් අද (30) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි .
ඊයේ රාත්‍රී 9ට පමණ පැමිණි තිබූ විපක්ෂ නායකවරයා ජන හමුව අමතමින් සිටියදී වේදිකාව දෙසට මෙම ගල් ප්‍රහාර එල්ල කර තිබූ බව පොලිසිය සඳහන් කරයි. එම ගල් ප්‍රහාරවලින් විපක්ෂ නායකවරයාට කිසිදු තුවාලයක් සිදු නොවිය .
එහිදී මද වේලාවකට සිය කතාව නතර කළ විපක්ෂනායකවරයා නැවතත් කටහඬ අවදි කරවමින් "මදාවි යන්ට බයේ මම යන්නේ" නැහැ යයි සිය කතාව කථාව අතරතුර දී පැවසීය . සිද්ධිය වූ මොහොතේ සිට ක්‍රියාත්මක වූ ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් ගල් ප්‍රහාර එල්ල කළ බව කියන පුද්ගලයන් දෙදෙනා ඊට යාබද රස්ටම් වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගල් ප්‍රහාර එල්ල කළ බව කියන පුද්ගලයන් දෙදෙනා එම අවස්ථාවේදී මත්පැන් ,අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කර සිටි බවට අනාවරණය වීමෙන් පසු එම සැකකරුවන් දෙදෙනා වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මත්ද්‍රව්‍ය පානය කර ඇති බව වෛද්‍ය වාර්තා වලින් ද සනාථ වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඔවුන් සිටින ස්ථානයේ සිට මීටර් ගණනාවක් ඈතින් රතිඤ්ඤා හඬ ඇසුණු බවත් තමන් එම දෙසට ගල් ප්‍රහාර එල්ල කර බවත් විපක්ෂනායකවරයා සහභාගි වෙන රැස්වීමක් එම ස්ථානයේ පැවැත්වෙන බවට තමන්ට එම අවස්ථාවේ නිසි මතකයක් නොතිබූ බවත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි . සැකකරුවන් දෙදෙනා තදින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් බව බුද්ධි තොරතුරු තොරතුරු වලින්ද සනාථ වී ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
වයස අවුරුදු 40 සහ 21 පසුවන සැකකරුවන් දෙදෙනා ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
COMMENTS
ගල්කිස්සේ පොලිසි බොහොම ඉක්මණින්ම වැරැදි කරුවන්ව සොයාගන්නවා. ප්‍රශංසාවට ලක්විය යුතු නිලධාරීන්..
මෙව්වා නම් පහත් වැඩ.. කවුද මේවා පිටුපස ඉන්නේ?
අරක්කු, අයිස් සහ ගංජා... ?
හූ කීම වලංගුද.?