(අනීෂා මානගේ)
හැමදාම පත්තරේ බැලුවොත් මිනීමැරුමක්. එක තැන දෙක තුන හතර. පවුල් පිටින් විනාශ කරලා. පොඩි ළමයි දූෂණය කරනවා.  එක්දහස් පන්සිය ගානක් මම දැක්කා වාර්තා වෙලා තියෙනවා.  මේ තත්වය ඔක්කොම ඇති වෙලා තියෙන්නේ මේ කෙටි කාලය තුළ විනයක් හා පාලනයක් නැති කමයි . ඒ ඇති වෙලා තියෙන තත්වයන් වෙනස් කරන්න ඕන අනිවාර්යෙන්. ඒකයි මහජනයා අපිට බලයක් දුන්නේ. ජනතාව අපි කෙරෙහි විශ්වාසය තියල ඒ බලය දුන්නා. අපි ඉන්නේ විපක්ෂයේ කියල දැන දැනනේ දුන්නේ‘ යැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ තංගල්ල කාල්ටන් නිවසේදී මාතර මහ නගරසභාව , මාතර ප්‍රාදේශීය සභාව හා කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව සඳහා අභිනවයෙන් පත්වූ  සභපතිවරුන් හා උප සභාපතිවරුන් අමතමින් උපදෙස් ලබා දුන් අවස්ථාවේදීය. 

මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය. 

‘ආණ්ඩුවක් ගොනයි මීමයි වගේ යන්න බෑනේ. සභාවක් වුණත් සභාපති උප සභාපති එක පැත්තකයි නගරාධිපති තවත් පැත්තකයි දෙන්න දෙපැත්තට ඇද්දොත් සභාව ගෙනියන්න බැහැ. වැඩ කරන්නත් බැහැ. එකට වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕන. නැත්නම් මේ ආණ්ඩුවට වෙලා තියෙන දේ තමයි වෙන්නේ. කිසිම තීන්දුවක් ගන්න බැහැ. වැඩක් කරන්න බැහැ. තියෙන සම්පත් ටික විකුණනවා හැරෙන්න වෙන වැඩක් කරන්න බැහැ. ඒකට දෙගොල්ලොම එකතු වෙනවා. වරාය විකුණන්න ඕන උනාම දෙගොල්ලොම එකතු වෙනවා. ඉඩම් ටික විකුණන්න ඕන වුණාම දෙගොල්ලොම එකතු වෙනවා. විකිණීමේදී දෙගොල්ලොම එකතු වෙනවා. අනිත් දේවල් වලදී ගැටුම් එනවා. කොහොම වුණත් ආණ්ඩුවක් මේ විදියට ගෙනියන්න බැහැ.