(මොහොමඩ් ආසික්)


මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරියෙන්  ඇති මාර්ගය විවෘත කිරීමෙන්  නගරයේ වාහන තදබදයට කිසිදු විසදුමක් නොලැබෙන බවත් මෙම මාර්ගය විවෘත කළ  යුතු බවට හඬ නඟන්නේ මාළිගාවට අභියෝග කරන සුළු පිරිසක් පමණක්  බවත් මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කීවේය.

විසල් මහනුවර සංවර්ධන වැඩපිළිවෙල යටතේ  මහානගර සහ  බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් සංවර්ධනය කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් මාධ්‍යවේදින්  දැනුවත් කිරිම සදහා මහනුවර පැවැති හමුවකදී ඇමැතිවරයා ඒ බව සඳහන් කළේය.

මහනුවර කියන්නේ ලංකාවේ  ආගමික, සංස්කෘතික මෙන්ම ආර්ථික වශයෙන්ද වැදගත් නගරයක් නමුත් මහනුවර ඉතා කුඩා ඉඩ ප්‍රමාණයකට සීමා වෙලා තියෙන නගරයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසාම මහනුවර කුණ්ඩසාලේ,පේරාදෙණිය,කටුගස්තොට යා කරලා විසල් නගරයක් නිර්මාණය කිරිම සඳහා වන සැලසුම් ජයිකා ආයතනය මගින් සකස් කරමින් පවතිනවා. එහි එක් කොටසක් උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න මහ නගර බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන්න භාර දී තිබෙනාවා. ඒ අනුව ඇමරිකා ඩොලර් මිලියන 100 ක් (රුපියල් දස ලක්ෂ 15000) ක වියදමින්  ආරම්භක  සංවර්ධන ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරිමට සැලසුම් සකස් කර තිබෙනවා.

විශේෂයෙන් මහනුවර මැද ඇළ සංවර්ධනය කිරිම මූලිකව කටයතු කරනවා.  මහනුවර මහ රෝහලේ සියලුම අපද්‍රව්‍ය මෙන්ම නගරයේ බොහෝ ආයතනවල අපද්‍රව්‍ය  බැහැර කරනු ලබන්නේ මේ මැද ඇළටයි. මෙතෙක් කාලයක්  මේ ඇළ  ගැන කිසිවක් නොකළ කිසිම කෙනෙකුට මහනුවර පරිසරය ගැන කතා කරන්න පුළුවන් කමක් නෑ. " යයිද ඇමැති චම්පික රණවක මහතා පැවසීය.