මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවට ඉඩ නොදෙන්නේ නම් එම පිරිස්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි.
ඉකුත් වසරේ පැවැති මහ මැතිවරණයෙන් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවකට මාර්ගය නිර්මාණය කර තිබෙන අතර මැතිවරණ ප්‍රතිඵලයට විරුද්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය හුවමාරු කිරීමේ ක්‍රියාවලියට බාධාවක් යැයි ද ඇමෙරිකාව ප්‍රකාශ කරයි.

එලෙස බාධා කරන සහ ඊට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි සඳහන් කළාය.

අවුන් සාන් සූචීගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට දැනටමත් දැනුම් දී ඇතැයි ද ඇය පැවැසුවාය.

හමුදාව නැවත වරක් මියන්මාරයේ බලය අත්පත් කරගැනීම සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් බලා සිටින බවත් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ඇති නායකයන් කඩිනමින් නිදහස් කරන්නැයි අවධාරණය කරන බවත් ඔස්ට්‍රේලියානු රජය මියන්මාරයේ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

මේ අතර මියන්මාරයේ සිදුවීම් දෙස විමසිල්ලෙන් බලා සිටින බවත් එරට සිටින සිය ජාතිකයන් නැවත ගෙන්වා ගැනීම කෙරෙහි තවම අවධානය යොමු කර නැති බවත් ජපානය සඳහන් කළේය.
 
රොයිටර්
 055