(තරිඳු ජයවර්ධන)

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් යැයි කියමින් විරෝධතාවක් පැවැත්වීමෙන් පසු බූස්ස රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින සරණාගතයින්ට එම මධ්‍යස්ථානයේ ප්‍රමාණවත් පහසුකම් නැතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂවරයා ඇතුළු කිහිප දෙනෙක් අද (28) බූස්ස කඳවුරට ගොස් ඔවුන් රඳවා සිටින ස්ථානය නිරීක්ෂණය කළහ.

එම මධ්‍යස්ථානය ඔවුන් රඳවා සිටීමට නුසුදුසු හෙයින් වහාම ඊට ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට අදාළ බලධාරීන්ට දැනුම් දෙන බවද මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොලිසිය,ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ විදේශ අමාත්‍යංශය ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් ලබන සඳුදා (02) මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා තිබේ.

මේ අතර මෙම සරණාගතයින් පිරිසේ පාසල් ළමයින් හය දෙනකු පමණ සිටි බවත් ඔවුන් ඒ වන විටත් අධ්‍යාපනය ලබමින් සිටි බවත් බූස්ස රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන යාම නිසා ඔවුන්ගේ අධ්‍යාපනය ඇණ හිට ඇති බවත් ලංකා ගුරු සංගමය කියයි.

දරුවන්ගේ අධ්‍යාපනයට බාධා නොවන පරිදි ක්‍රියාමාර්ග ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසීය.

සිසුන්ගේ අධ්‍යාපනය කඩවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.