(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ) 
 
2015 පෙබරවාරී මස 27 වැනිදා සිදුවු ප්‍රශ්ණගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගෙන් වාර්තාවක් ඉල්ලා සිටි බවත් ඒ අනුව එම බැඳුම්කර වෙන්දේසියේදී සිදුවු දේ සම්බන්ධයෙන් තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වාර්තාවක් ලබා දුන් බවත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද බැඳුම්කර කොමිසම හමුවේදී පැවසීය.
 
 එම වාර්තාවේ පිටපතක් කොමිසමට බාරදීමටද ඔහු  පොරොන්දු විය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්ණගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මඟින් තමන්ගෙන් වාර්තාවක් ඉල්ලා සිටි බව කොමිසමට සහය වන වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා දැනුම් දුන්නේය.
 
ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අනුව ඔබ විසින් ලබාදුන් වාර්තාවේ පිටපතක් අද ඔබ ගෙනැවිත් තියෙනවාද?
 
පිළිතුර - නැහැ.
 
ප්‍රශ්නය - අදාළ වාර්තාවේ පිටපතක් ඔබට සොයාගන්න පුළුවන්ද?
 
පිළිතුර -  පුළුවන්. එය මගේ ලිපිගොනු වල ඇති.
 
ප්‍රශ්නය -  ඔබ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන් වාර්තාවේ පිටපතක් මෙම කොමිසමට ගෙනැවිත් බාර දෙන බවට පොරොන්දු විය හැකිද?
 
පිළිතුර -   අදාළ වාර්තාවේ පිටපතක් මෙම කොමිසමට ගෙනැවිත් බාර දෙන බවට මට පොරොන්දු විය හැකියි