(තිළිණි ද සිල්වා)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මෑතකදී අනාවරණය කළ සාක්කි සටහන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නැයි එම කොමිසන් සභාවේ ලේකම්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසම් දෙකක් ගොනු කර ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ නීතීඥ මෝදිත ටිකිරි බණ්ඩාර ඒකනායක ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් වෙනුවෙන් ඉදිරිපත් කළ මෙම මෝසම් හෙට (03) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියම කළේය.

2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරට සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඉකුත් මාර්තු 17 වැනිදා 2167 /5 දරණ ගැසට් නිවේදනය මඟින් ජනාධිපති විමර්ශන කොමිසම පත් කළ බව එම මෝසම් වල සඳහන් කර ඇත.

එම ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ මෑතකදී ඉදිරිපත් වූ සාක්කි තමන් එම පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් එරෙහිව යොදා ගැනීමට තරම් ප්‍රබල බවත් , එසේම සිය වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් එකළ පැවති රජයට එරෙහිව සාක්කි ඉදිරිපත්ව ඇති බවද එම මෝසම් මඟින් අධිකරණයට පෙන්වා දී ඇත.

එබැවින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාව හමුවේ මෑතකදී අනාවරණය කළ සාක්කි සටහන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නැයි එම කොමිසන් සභාවේ ලේකම්වරයාට නියෝග කරන්නැයිද එම මෝසම් වලින් ඉල්ලා සිටිති.