හර්ෂණ තුෂාර සිල්වා
සියලු පුරවැසියන් සඳහා සාමකාමී, ස්ථාවර, සංහිඳියාවෙන් සහ සෞභාග්‍යයෙන් පිරි ශ්‍රී ලංකාවක් බිහි කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී අද (21) පැවැසීය.
මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ස්ථාන කිහිපයක මෑතකදී ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බවත් පාර්ශ්ව කිහිපයක් එම ක්‍රියා සිදු කළේ මෙම කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට හානි කිරීමේ අරමුණින් බවත් අමාත්‍යවරයා එහිදි කීවේය.
ඇමැතිවරයා එසේ කීවේ ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේදී අදහස් දක්වමිනි.
විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් කරන ලද සම්පූර්ණ කතාව පහත දැක්වේ..
සභාපතිතුමනි,
නියෝජ්‍ය මහකොමසාරිස්තුමියනි,
සම්භාවනීය නියෝජිතයිනි,
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයට අද දින සහභාගීවීමට ලැබීම ගෞරවයක් කොට සලකමි.
මගේ අමාත්‍ය මණ්ඩලීය සගයන් වන විශේෂ කාර්යභාර අමාත්‍ය ගරු ආචාර්ය සරත් අමුණුගම සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාපා යන මහත්වරු අද දින මා සමග මෙම සැසිවාරයට සහභාගී වෙති. මගේ අමාත්‍ය මණ්ඩලීය සගයන් සහ මම සම්මුතිවාදී රජයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක නියෝජනය කරන්නෙමු. 2015 ජනවාරියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තේරී පත්වූ දින සියයේ වැඩසටහන මත පදනම්ව, සංහිඳියාව, නීතියේ ආධිපත්‍යය, යහපාලනය, මානව හිමිකම්, යුක්තිය, සමානාත්මතාව සහ අපගේ සියලු පුරවැසියන්ගේ අභිමානය අභිවර්ධනය කිරීමට රජයේ ඇති කැපවීම ප්‍රදර්ශනය කරමින් එකම හඬකින් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කතා කිරීමට අපි මෙහි පැමිණ සිටින්නෙමු.
සභාපතිතුමනි,
ශ්‍රී ලංකාව සමඟ ස්ථාවර සහ ඵලදායි ලෙස අන්තර්ක්‍රියා කිරීම සම්බන්ධයෙනුත්, අපට ලබාදුන් මිල කළ නොහැකි තාක්ෂණික සහය වෙනුවෙනුත්, සෑම විටෙකම අප වෙත ලබා දෙන්නා වූ සහයෝගය සහ දිරිය වෙනුවෙනුත්, මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාට, නියෝජ්‍ය මහකොමසාරිස්වරියට, සහ මහකොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට අපගේ අවංක ස්තුතිය පිරිනැමීමට කැමැත්තෙමු.
සභාපතිතුමනි,
අප රටෙහි සංහිඳියා ක්‍රියාවලිය නොසැලකිල්ලෙන් කරන හුදු නිල ක්‍රියාවලියක් ලෙස අපි නොසලකමු. නීතියේ ආධිපත්‍යය ඉහළට ඔසවා තැබීමටත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති පරිදි කිසිදු වෙනස්කම් කිරීමකින් තොරව සෑම පුද්ගලයකුටම නීතියේ සමාන ආරක්ෂාව ලැබෙන බවට වග බලාගැනීමටත් අපි දැඩි ලෙස කැප වී සිටින්නෙමු. දිගුකල් පවත්නා සාමයෙන් සහ සංහිඳියාවෙන් පමණක් උදාකර ගත හැකි සාධාරණ සමාජ-ආර්ථික සංවර්ධනයක් අපගේ පුරවැසියන්ට ලබාදීමට අප බැඳී සිටින බවද අපි දනිමු. සභාපතිතුමනි, එබැවින්, අප මුහුණ දෙන සමාජ-දේශපාලන සහ ආර්ථික අසීරුතා මධ්‍යයේ වුව, අපගේ පුරවැසියන් සියලු දෙනා වෙත සංහිඳියාවෙන් සැනහුණු, සාමකාමී, ස්ථාවර සහ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම පිළිබඳ අපගේ දැක්ම යථාර්ථයක් කරගැනීම උදෙසා අපි සියලුම ප්‍රයත්න දරන්නෙමු. මේ සන්දර්භය තුළත්, මෙතෙක් කල් ශ්‍රී ලංකාව විසින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් මහකොමසාරිස්වරයා විසින් කරන ලද නිරීක්ෂණවලට ප්‍රතිචාර වශයෙනුත්, ශ්‍රී ලංකාව 2017 පෙබරවාරි 28 වැනිදා මෙම කවුන්සිලයේ 34 වැනි සැසිවාරය ඇමතූ තැන් පටන් අප විසින් අත්කරගෙන ඇති සුවිශේෂීම ජයග්‍රහණ මෙහිලා දැක්වීමට කැමැත්තෙමු. සත්‍යය, යුක්තිය, හානිපූරණය සහ ගැටුම් යළි ඇති නොවීම ගැන සහතික වීම ප්‍රවර්ධනය කරන්නට ශ්‍රී ලංකාව තුළ ඇති තිර කැපවීම, කැමැත්ත සහ හැකියාව ප්‍රදර්ශනය කරමින් පසුගිය වසර තුළත්, ඊට පෙරත් විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන ඇත.
සංහිඳියා, අධිකරණ සහ හානිපූරණ ක්‍රියාදාමයන් ජාති, ආගම් හෝ පුමතිරි භේදයකින් තොරව ගැටුම්වලින් හානියට පත් සියලු ජනකොටස් වෙනුවෙන් බවත්, අතුරුදන් වූ ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ පවුල්වල අයද ඊට ඇතුළත් බවත් අපි හොඳාකාරවම දනිමු.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තේරීපත් වී සති කිහිපයකට පසු 2015 පෙබරවාරි මාසයේදී පැවැති නිදහස් දින සමරුවේදී රජය විසින් විධිමත් සාම ප්‍රකාශනයක් කරන ලදී. “ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩත්වය අවසන් වී ඇත. සුවපත්වීමටත් තිරසර සාමය හා සියලු දෙනාගේ ආරක්ෂාව ගොඩනැංවීමටත් අවශ්‍ය කරන කාලය හා අවකාශය අප වෙත පැමිණ තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ සහ පුරවැසිභාවයේ ඵල සියලු දෙනාම සමාන ලෙස භුක්ති විඳීම සහතික වනු වස් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම දැන් අප කළ යුතු” යැයි එහි සඳහන් විය. සභාපතිතුමනි, අපගේ සියලු පුරවැසියන් එක්සත්ව, ජාති සහ ආගම් භේදවලින් තොරව, දුක්ඛදායක ගැටුම්වල උරුමය මැඬලා අපගේ ජාතිය තිරසර සාමය සහ සෞභාග්‍යය කරා කැඳවාගෙන යන මේ දැක්ම අපි අඛණ්ඩව ඉදිරියට ගෙන යන්නෙමු.
සභාපතිතුමනි,
ඔබ දන්නා පරිදි, ගැටුම් අතරතුරදී ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදා විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග, අපගේ රටෙහි සිටින කිසියම් හෝ ජනකොටසකට එරෙහිව නොව රටවල් රාශියක් විසින් ත්‍රස්තවාදී සංවිධානයකැයි නම් කරනු ලැබූ කණ්ඩායමකට එරෙහිව ගත් ඒවා විය. මෑත ඉතිහාසයේදී පළමු වරට සිතා මතාම සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගත් එම ත්‍රස්තවාදී කණ්ඩායමේ ක්‍රියා පිළිවෙත දැන් ලොව පුරා සෙසු ත්‍රස්තවාදී කණ්ඩායම් විසින්ද භාවිතයට ගෙන තිබේ. අපගේ රටෙහි වූ ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවේ සියලු ජනකොටස් ඒකරාශී වූ අතර, දැන් ත්‍රස්තවාදය පරාජය කොට ඇති බැවින්, ඒ සියලු ජනකොටස් සංහිඳියාව සහ රටේ ආර්ථික ප්‍රගතිය උදෙසා ඒකාත්මිකව කටයුතු කරති.
සභාපතිතුමනි,
2015 ජනවාරි සිට මේ දක්වා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම, සංහිඳියාව සහ යහපාලනය විෂයෙහි ශ්‍රී ලංකාව විසින් අත්පත් කරගනු ලැබූ ප්‍රගතිය විදහා පෙන්වන විස්තරාත්මක ලැයිස්තුවක් කවුන්සිලයේ සියලුම සාමාජිකයක් අතර බෙදා හැර තිබේ. එබැවින්, අප විසින් ගනු ලැබූ ඉතාම වැදගත් පියවර කිහිපයක් මෙහිලා දක්වමි.
මේ වැදගත් නමුදු අභියෝගාත්මක ගමනෙහි ඉදිරියට යන අපි, නෛතික සහ පරිපාලනමය මාර්ගවලින් ගනු ලබන මෙම වැදගත් විපරිණාමීය පියවර මනා ලෙස ආරක්ෂා කරගැනීම සඳහාත් සංස්ථාපනය කිරීම සඳහාත් අප සමාජයේ සියලු කොටස් සහභාගීවීමේ අවශ්‍යතාව ගැන දැනුවත්ව සිටින්නෙමු. තිරසර පදනමක් මත එකඟතාවකට එළැඹීම පිණිස අපි අපගේ කැපවීම සියලු පාර්ශ්වකරුවන් වෙත යළි අවධාරණය කරන්නෙමු.
ගැටුම් යළි ඇති නොවීමට වගබලා ගැනීම සඳහා අප තුළ ඇති තිර අදිටන හරහා සංහිඳියා න්‍යාය පත්‍රය පූරණය කරන්නට අපි ඇපකැප වී සිටිමු. මේ න්‍යාය පත්‍රය පෙර කිසි කලෙක නුවූ විරූ එකකි. ඉතා කෙටි කලක් තුළ සුවිසල් කාර්ය භාරයක් ඉටු කරන්නට අප භාරගෙන ඇත. එවැනි පියවර ක්‍රියාත්මක කරන්නට අනෙක් බොහෝ රටවල්වලට දශක ගණනාවක් ගත වී තිබේ. අභියෝග මධ්‍යයේ වුව අපගේ කැපවීම ස්ථිරසාර ය. මක්නිසාද යත්, සෑම පාර්ශ්වයකම සියලුම වින්දිතයන්ටත්, සෑම ජන කොටසකටමත්, සැමටත් වැඩියෙන් අපගේ අනාගත පරම්පරාවලටත් ස්ථාවර, සාමකාමී, සංහිඳියාවෙන් සැනහුණු සහ සෞභාග්‍යවත් සමාජයක පදනම සකස් කිරීමට වගබලා ගැනීම රාජ්‍යයේ වගකීම බව අප සම්පූර්ණයෙන්ම වටහාගෙන ඇති බැවිනි. අපගේ අතීතයේ අසීරු උරුමය සමග කටයුතු කිරීමේ බර අපගේ අනාගත පරම්පරාවල කර මත නොපැටවිය යුතු යැයි අපි දන්නෙමු.
සභාපතිතුමනි,
ශ්‍රී ලංකාවේ බහුවිධ සමාජයේ අවියෝජනීය කොටසක් නියෝජනය කරන මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයන් ඉලක්ක කරගෙන රටේ ප්‍රදේශ කිහිපයක මෑතදී සිදුවූ සිදුවීම් පිළිබඳව ජාතියක් වශයෙන් අපි වේදනාවට පත් වී සිටිමු. සියල්ලන්ටම සමාන අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය සහතික කෙරෙන ශ්‍රී ලංකාවක් සඳහා වූ අපගේ පොදු දැක්මට විරුද්ධ එවැනි ක්‍රියාවලට ප්‍රජාතන්ත්‍රවාදී, බහුවිධ සමාජයක තැනක් නැත. මේ සිද්ධීන්වලට වගකිවයුත්තන්ට එරෙහිව රජය කඩිනම් පියවර රැගෙන ඇති අතර සිදුවන්නට ඇති යම් ප්‍රමාද දෝෂ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. යළි එවැනි සිදුවීම් ඇති නොවීම සඳහා දැඩි පියවර ගැනෙනු ඇත. වින්දිතයන්ට වන්දි පිරිනැමීමේ වැඩසටහනක් දැනටමත් ආරම්භ වී තිබේ. මෙම කවුන්සිලය සිය සැසිවාර පවත්වන සමයේදී අපගේ ප්‍රතිරූපයට හානි කිරීම සඳහා කටයුතු කරන යම් පාර්ශ්ව මෙම සිදුවීම පිටුපස සිටි බව විශ්වාස කිරීමට අපට හේතු ඇත.
ජනතාව උසිගන්වා වෛරී සහ සාවද්‍ය ප්‍රචාර පැතිරවීමට පමණක් නොව ප්‍රහාර සංවිධානය කිරීමටද සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල පණිවිඩ සේවා ප්‍රයෝජනයට ගන්නා බව පරීක්ෂණවලින් හෙළිදරව්වීමෙන් ඉක්බිති සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් තාවකාලික සීමාවන් පනවන්නට රජයට සිදු විය. ඒ සියලු සීමාවන් දැන් ඉවත් කර තිබේ. මෙම අත්දැකීමෙහි ප්‍රතිඵලයක් ලෙස, වෛරී භාෂණය වැලැක්වීමේ අරමුණෙන් රජය සමාජ මාධ්‍ය මෙහෙයවන්නන් සමග ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී සිටියි. ප්‍රජාවන් ආරක්ෂා කිරීමේ පියවරක් වශයෙන් 2018 මාර්තු 06 වැනි දින රජයට පනවන්නට සිදුවූ හදිසි අවස්ථා රෙගුලාසි 2018 මාර්තු 17 වැනි දින ඉවත් කරන ලදී.
සභාපතිතුමනි,
සංහිඳියා සහ සංවර්ධන න්‍යාය පත්‍රය රජයට පමණක් තනිව වැඩ කිරීමෙන් සාක්ෂාත් කරගත නොහැකිය. දේශපාලන පක්ෂවල, සිවිල් සමාජයේ, විද්වතුන්ගේ, ව්‍යාපාරික ප්‍රජාවෙහි, ජනමාධ්‍යවල මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවෙහිද සහභාගීත්වය මෙම වැදගත් ජාතික කර්තව්‍යයෙහිලා අත්‍යවශ්‍ය වෙයි.
සභාපතිතුමනි,
අපගේ සියලු පුරවැසියන්ට සාමකාමී, ස්ථාවර, සංහිඳියාවෙන් සැනහුණු සහ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් කරා මාවත සකසන, අප විසින් අපගේ ජනතාවට දෙන ලද ප්‍රතිඥාවන් ඉටුකිරීමෙන් අප වලකාලන්නට කිසිවකුට නුපුළුවන් බව අවංකභාවයෙන් සහ අවබෝධයෙන් යුතුව අවධාරණය කරන්නට අපි කැමැත්තෙමු.
ශ්‍රී ලංකාවේ අධිකරණ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණවලට අදාල සියලු දෙනා වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීමේ පූර්ණ හැකියාව තිබෙන අතර ඒවා ඒ වෙනුවෙන් ඇපකැප වී සිටියි. එම යාන්ත්‍රණ සතුව අවංකභාවයේ සහ වෘත්තීයභාවයේ දිගු ඉතිහාසයක් තිබෙන අතර 2015 ජනවාරියේ සිට ඒවායේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පියවර ගෙන තිබේ. එමෙන්ම, සභාපතිතුමනි, සියලු සංහිඳියා යාන්ත්‍රණ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාත්මක කෙරෙන බවද මේ අවස්ථාවේදී ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.
සභාපතිතුමනි,
ශ්‍රී ලංකාවේ ගැටුමෙන් ඉතිරි වූ උරුමය අති දුෂ්කර එකක් වනවා මෙන්ම එය අද දක්වාම අප සමාජය වසා පැතිර තිබේ. දේශපාලන වාසි ලබාගැනීම සඳහා මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ලැබීමට අන්තවාදීහූ නිරතුරු ප්‍රයත්න දරති. එය වටහා ගැනීමෙන් සිදුවන්නේ අතීතයේ ප්‍රචණ්ඩකාරී දින වෙත යළි කිසි දිනෙක පෙරළා නොයන බවට වගබලා ගැනීමේ අපගේ තිර අදිටන තවතවත් ශක්තිමත් වීම පමණකි. අප අරමුණ වන්නේ අපගේ සියලු ජනතාවට දී ඇති ප්‍රතිඥා පූරණය කෙරෙන බවට වග බලා ගැනීමත් අපගේ මෑත ඉතිහාසයේ හටගත් ශෝකජනක සහ කම්කටොලු පිරි කාලපරිච්ඡේදයකට අවසානයක් ළඟා කරදීමත්ය.
ස්තුතියි.
සති පහකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඒ රෝහලෙවන් පිටවී යෑම
මන්නාරමේ අදානි සමාගමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට රජය අපොහොසත් වීම පිළිබඳව කණගාටු වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැ
ශ්රී ලංකාවේ රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව කොළඹ කාසල් රෝහලේ ස්ථාපිත කිරීමට කටයුතු කළ බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරයන මහතා
සුළු සුළු අඩුපාඩු මත ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස දේශපාලන පක්ෂවල ලේකම්වරුන්
පළාත් පාලන ආයතන වලට බොහෝ දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් ලෙස තරඟ වැදීමට මෙවර බොහෝ පිරිසක් දැඩි මැලිකමක් දක්වා ඇතැයි වාර්තාවේ
මෙම වසර ආරම්භ වී අද (23) දක්වා කාලය තුළ දී වෙඩි තැබීමේ සිද්ධි 27 ක් වාර්තා වී ඇති අතර එම සිද්ධීන් නිසාවෙන් පුද්ගලයින් 22 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
දිගන ප්‍රහාරය ජිනීවාහිදී ලක් රජය කොන් කරන්න කළ වැඩක්ලු
erdi Wednesday, 21 March 2018 06:27 PM
ලෝකෙම දැක්ක දෙයක් බොරුවෙන් වහන්න පුලුවන්ද.?
රොෂාන් Wednesday, 21 March 2018 08:50 PM
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙතරම් වැදගත් පුද්ගලයින් සමුළුවට සහභාගිවී තිබියදී, කොහෙවත් ඉන්න කොටි නඩය සමග රිලා නැටුම් නටන්න ජිනීවා ගිය රිලව් ගැන මතක් වෙද්දී අර කොහෙන්ද මන්දා හිනා යනවා. නිකන් පීචන් නොවී ලංකාවේ කරන තක්කඩි දේසපාලනේ කොරගෙන ලංකාවට වෙලා හිටහල්ල බන්.
ChandimaThursday, 22 March 2018 07:31 AM
ඔව්, හරිම වැදගත් කියලා නම් පේනවා.
tarzan Thursday, 22 March 2018 03:55 AM
මේ ගොල්ලෝ බබා ????????