(ඉන්දිකා රාමනායක)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බව කියන සිද්ධියට අදාල තවත් හඬපට  20 ක්  අනිද්දා  (11)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බව දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ  නාමල් කුමාර මහතා  පවසයි.

මෙම හඬපට අතර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ හඬපට මෙම සිද්ධියට අතර මැදියෙක් වශයෙන් කි‍්‍රයා කළ  නාලක සිල්වා මහතාගේ  ප‍්‍රධාන ගෝලයකු වන ත‍්‍රස්තවාදී  විමර්ශන කාර්යාංශයේ  තවත් පොලිස් නිලධාරියකුගේ  හඬපටයක් ප‍්‍රංශයේ වෙසෙන ශි‍්‍ර ලංකිකයකු වන තුෂාර පීරිස්ගේ  හඬපට  නැගෙනහිර පළාත් හිටපු  දේශපාලනඥයකුගේ හඬපට ඇතුලූ හඬපට රැසක් ඇතුළත් බව නාමල් කුමාර මහතා  කියා සිටියේය.

මෙම හඬපට අනිද්දා පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බවද නාමල් මහතා කියා සිටියේය.

තමන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ප‍්‍රකාශවල මෙම හඬපට සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා දී ඇති බවද නාමල් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.