(උපාලි ආනන්ද)

රුවන්වැලිසෑය ආසන්නයේ පිහිටි දන්සල් පරිශ්‍රයේ එක් පසෙක හික්ෂූන් වහන්සේලා පිරිසක් පවත්වාගෙන ගිය මාරාන්තික උපවාසයට මැර කල්ලියක් සමග කඩා වැදුනු රාජාංගනේ සද්ධාරතන නැමැත්තාට අතින් පයින් සහ පොලු වලින් පහර දී තුවාල සිදු කළ බව කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බලංගොඩ කස්සප ඇතුළු භික්ෂූන් වහන්සේ පස් නම සහ අනෙක් සැකකරුවන් ශරීර ඇප මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්‍ සියපත් සසිඳු වික්‍රමරත්න මහතා අද නියෝග කළේය.

ඒ අනුව සියලු සැකකරුවන් වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්රවයා යළි 2027 වසරේ අප්‍රේල් මස 29 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සියලු සැකකරුවන්ට නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හැරියේ බලංගොඩ කස්සප, කහටගස්දිගිලියේ විජිත ,බලංගොඩ අනුරුද්ධ, පිලිමතලාවේ රේවත සහ දෙනියායේ සෝරත යන භික්ෂූන් වහන්සේලා සහ උදිත නිශාන්ත සහ ලක්මාලි හෙට්‌ටිආරච්චි ඇතුලු සැකකරුවන්ය.

මෙම සිද්ධියට අදාල නඩුව යළි කැදවු අවස්ථාවේ බලංගොඩ කස්සප හිමි ඇතුලු සැකකරුවන් වෙනූවෙන් අධිකරණයට කරූණු දක්වමින් නීතිඥවරුන් වන නුවන් බැල්ලන්තුඩාව සහ ඉන්දික ඉඹුල්පිටිය සහ සංජීව ගුණරත්න යන මහත්වරුන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයින් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙසයි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අනුරාධපුර පොලීසිය සැකකරුන්ගේ ඇප ඉල්ලීම් සම්බන්ධව විරෝධය නෝදැක්වීය.