(චමිල් රූපසිංහ)

මෙරට තුළ සිදු කෙරෙන ගව ඝාතනය නතර කළ යුතු බවට මහා සංඝරත්නය ඇතුළු පාර්ශව ගණනාවක් කළක පටන් ඉල්ලීම් කළත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් ක්‍රියාත්මක නොවූ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධව අවදානය යොමුකර ගව ඝාතනය නතර කිරීමට අවශ්‍ය කටයුතු සළසන බව ප්‍රකාශ කිරීම අගය කරන බව මල්වතු අස්ගිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පැවසූහ.

ගව ඝාතනය සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම සම්බන්ධව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගෙන තිබෙන තීරණයට පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව සියලු දෙනාගේ සහය ලබාදිය යුතු බවද අනුනායක හිමිවරු පැවැසුහ.

පන්සිල් පද පහේ පළමු වැන්න ප්‍රාණ ඝාතනයෙන් වැළකීම යැයිද මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් හා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි යන අනුනාහිමිවරු දෙනම සඳහන් කළහ.

මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ මේසේ පැවැසුහ.

         බෞද්ධ දර්ශනය සුරක්ෂිත රටක අවිහිංසාව පෙරදැරිව පාලකයින් කටයුතු කළ යුතු අතර අගමැතිවරයා එම ප්‍රතිපත්ති සමඟ බද්ධව ක්‍රියාකරමින් ගව ඝාතනය නතර කිරීමට පියවර ගැනීම සම්බන්ධව සතුටු වන බවත් අවිහිංසාව පෙරටු කරගෙන රට පාලනය කිරීම දස රාජ ධර්මයන් ගෙන් එකක් වන බවත් පොළොන්නරු යුගයේ නිර්මිත සඳකඩ පහණේ ගව රූපය දක්වා නොමැත්තේ ගවයා කෙරෙහි අතීතයේ පටන් අප සමාජයේ පවත්නා ගෞරවය ඉස්මතු කිරීම බවද අනුනාහිමියෝ පැවසූහ.

බුදු දහම අවිහංසාව මුල්කරගත් දහමක් බවත් සෑම සත්වයෙකුම මරණයට මෙන්ම හිංසාවටද බය බවත් මෙය අප තේරුම්ගත යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් අදහස් දක්වමින් රටට එක නීතියක් ගෙන ඒමට ජනාධිපති හා අගමැති කටයුතු කරමින් සිටින බවත් එය අගය කරන බවත් පැවසූහ.